Press "Enter" to skip to content

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් උදෑසන 7 සිට වර්ජනයක – තැපැල් වර්ජනය තවදුරටත්

රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව අද පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේය.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම වැඩවර්ජනය සඳහා සහාය පළකර තිබේ.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග සිය ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (17) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය අසාධාරණ බව සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැදවුම්කරු චලිත් අමරදිවාකර මහතා සඳහන් කළේය.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, පෙරේදා පස්වරුවේ ආරම්භ කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් ලක්ෂ 10කට අධික ලිපි සහ පාර්සල් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවය.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය අසාර්ථක බව ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *