Press "Enter" to skip to content

තරුණ සේවා සභාවේ සමාගමක් සභාවටම කරපු දේ

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති බව කෝප් අනුකාරක සභාවේදී අනාවරණය විය.

මෙම කරුණු අනාවරණය වූයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන දිනවලදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාවේ තුරග තරඟ පිටියේ පැවති සංගීත ප්‍රසංගය ද ඇතුළත්ව මෙම වැඩසටහන සම්බන්ධයෙන්ද පවතින සියලු වීඩියෝ පට කාරක සභාවට ලබා දෙන ලෙස හිටපු සභාපති පසිඳු ගුණරත්න මහතාට ලබාදුන් නිර්දේශය පිළිබඳව අනු කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී.

ඒ අනුව එම වීඩියෝ පට තමන්ට ලබාදී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

එහිදී ලක්ෂ 120ක මුදලක් මේ වෙනුවෙන් අදාළ නිෂ්පාදන ආයතන වෙත ලබාදීම පිළිබඳව කාරක සභාව දීර්ඝව කරුණු විමසීය. ඒ අවස්ථාවේදී අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස අදාළ සැපයුම වැඩි මුදලකට ලබාගෙන එම සමාගම විසින් තවත් ආයතන ඔස්සේ එය සිදුකර ඇති බවය.

තවද ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් මාලාව සමීක්ෂණ වාර්තාවකින් අනතුරුව සිදුකළ බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වර්තාවක් සභාව සතුව නොමැති බව ජාතික තරුණ සේවා සභා නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාව තුළ විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර පුර්ණ වාර්තාවක් මාස 3ක් තුළ කාරක සභාවට යොමු කරන ලෙසත්, ජාතික තරුණ සේවා සභාව මගින් ද පරීක්ෂණයක් සිදුකර නිත්‍යානුකූල පියවරයන් ගැනීමට කටයුතු කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

එමෙන්ම දේශපාලන හේතුන් මත ගැටලු සඳහා මුහුණ දුන් නිලධාරීන් 40 දෙනෙකු සඳහා වන්දි ලබාදීමට විශ්‍රාමික නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස ලබා දී තිබු කැබිනට් තීරණයක් නොසලකා හරිමින් සභාව මගින් වෙනම කමිටු 3ක් පත්කර වන්දි ලබාදීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ජා විය.

ඒ අනුව මෙලෙස වන්දි ලබාගත් නිලධාරීන්, ලබා දුන් වන්දි මුදල් ප්‍රමාණයන්, මෙම උසස්වීම් ලබා දුන් දිනයන්, ගෙවීම් කළ දිනයන්, අනුමතිය ලබා දුන් දිනයන් හා තීන්දු ලබා දුන් නිලධාරීන් පිළිබඳව පුර්ණ වාර්තාවක් සති 2ක් තුළ ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *