Press "Enter" to skip to content

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට කංජිපානි ඉම්රාන්ගේ සහාය ලැබිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභාවට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටි සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය කාලයක් තිස්සේ පැවති පුද්ගලික කෝන්තරයක් මත සිදුවූවක් බවත්, ඊට විදේශගතව සිටින කංජිපානි ඉම්රාන් නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුගේ ද සහාය ලැබී ඇති බවත් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු වන වෙඩික්කරුගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ.

බන්දුල පියල් නොහොත් කට් බන්දු නමැති සැකකාර වෙඩික්කරු අවුරුදු 52ක් වයසැති වෑබඩ පදිංචිකරුවෙකි.

තමා අලුත් අවුරුදු කන්නේ ඩෑන්ව ඝාතනය කර හිරේට ඇවිත් බව ඔහු විසින් බන්ධනාගාරගතව සිටින රැඳවූවකුට කර ඇති ප්‍රකාශයක් මුල්කරගෙන ඇති වූ සැකයක් මත පොලීසිය මේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු පසුපස පන්නා තිබුණි. එහිදී අනාවරණය වන්නේ ඩෑන් ප්‍රියසාද් ඝාතනයත් සමඟ ඔහු සිය පුතා ද සමඟ ගේ දොර අත්හැර සැඟව සිටින බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ඔවුන් දෙදෙනාට එරෙහිව විදෙස් ගමන් තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබාගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගත්තේය. ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට මේ පිය පුතු දෙදෙනාගේ සම්බන්ධයක් ඇතැයි පොලීසියට යම් සැකයක් ඇතිවන්නේ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ලවී ඇති බැවිනි.

මේ වෙඩික්කරු ඩෑන් ප්‍රියසාද්ට ඔහුගේ බිරියගේ පාර්ශ්වයෙන් ඥාති සම්බන්ධයක් ද තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

මේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය 02 වැනිදා කුරුඳුවත්ත පොලිස් වසමේදී බව පොලීසිය සඳහන් කරයි.

මේ ඝාතනයට ඔත්තු බැලූ පුද්ගලයෙක් ද පෙරේදා (03) බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කොළොන්නාවේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් අහමඩ් නමැති 28 හැවිරිදි වියේ පසුවන්නෙකි. මේ ඝාතනයට තමා ඔත්තු බැලුවේ ඩෑන් ප්‍රියසාද් විසින් ඔහුට පහරදීමක් හේතුවෙන් බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර ඇත. තට්ටු නිවාස සංකීර්ණයේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවල ද ඔහු රතු පැහැති ඇඳුමකින් සැරසී එහි ගැවසෙන අයුරු සටහන්ව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඩෑන් ප්‍රියසාද් එදින සිය බිරියගේ නිවෙසට සාදයක් සඳහා පැමිණෙන බවට කල්තියා වෙඩික්කරුට තොරතුරු ලැබී ඇති බවත්, ඒ අනුව මේ ඝාතනය සැලසුම් කර ක්ෂණිකව ක්‍රියාත්මක කර ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් මේ සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මේ ඝාතනය සැලසුම් කිරීමට යොදා ගත් ජංගම දුරකතන දෙකක් ද, සිම් කාඩ්පත් දෙකක්, වෙඩික්කරු මේ ස්ථානයට පැමිණි යතුරුපැදිය, ඔහු පැලඳ සිටියේ යැයි කියන හිස් ආවරණය ද සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලීසිය මේ ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගන්නේ ඝාතන සැලසුම්කරු ලෙසින් හඳුනාගත් මීතොටමුල්ල, පංසල්හේන පාරේ පදිංචිකරුවෙක් වූ දුලාන් නමැති අයෙකි.

ඩෑන් ප්‍රියසාද් ඝාතනය වීමත් සමඟ දුලාන් ඔහුගේ පියා, සහෝදරිය ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචි පංසල්හේන පාරේ පිහිටි නිවෙස වසා දමා පලා යෑමට උත්සාහ දරා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔවුන් පොලිස් භාරයට ගෙන කළ විමර්ශනයේදී ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ සැලසුම්කරුවෙක් ලෙස දුලාන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබිණි.

පුද්ගලික ආරවුලක් මත පසුගිය 20 වැනිදා ඩෑන් ප්‍රියසාද් මහතා විසින් පංසල්හේන පාරේ නවතා තිබුණු ත්‍රිරෝද රථයකට පහරදී හානි කර තිබූ බව පොලීසීය සඳහන් කළේය. එම ත්‍රිරෝද රථයේ හිමිකරු දුලාන් නමැති අය බව පොලීසිය සඳහන් කළේය.

එම පහරදීම ගැන පැමිණිල්ලක් ඔහු හෝ ඩෑන් ප්‍රියසාද් හෝ පොලීසියට කර නැත. ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙක් විසින් වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත්තේ තමාගේ ත්‍රිරෝද රථයට ඩෑන් ප්‍රියසාද් විසින් පහරදී හානි කර ඇති බවටයි. එම පැමිණිල්ල කළ පුද්ගලයා ද ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර සිටියි.

පැමිණිල්ල විභාග කිරීමට ඊට පසු දින වැල්ලම්පිටිය පොලීසිය විසින් ඩෑන් ප්‍රියසාද් මහතා පොලීසියට කැඳවා ඇතත් ඔහු පැමිණ නැත. ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ මුල් සැලසුම තිබී ඇත්තේ ඔහු පොලිස් ස්ථානයට පැමිණ ආපසු යමින් සිටියදී බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

සිය බිරියගේ සහෝදරිය විසින් සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ හය වැනි මහලේ නිවෙසේ සංවිධාන කළ අලුත් අවුරුදු සාදයට පැමිණ සිටියදී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ එම මුල් සැලසුම ව්‍යර්ථ වීමෙන් අනතුරුවයි. ඩෑන් ප්‍රියසාද් මහතා සමඟ වෛරයෙන් සිටි කට් බන්දු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ඝාතනයේ වෙඩික්කරුවෙක් ලෙස සම්බන්ධවී ඇති බව විමර්ශනවලින් පොලීසියට පෙනී ගොස් ඇත. ඩෑන් ප්‍රියසාද් විසින් කළ විරෝධතාවක් ඇතුළු සිදුවීම් කිහිපයක් මුල්කරගෙන ඔහුගේ ජීවිතයට හානි කිරීමේ අපේක්ෂාවෙන් සිටි කංජිපානි ඉම්රාන් සමඟ ද මේ ඝාතන සැලසුම්කරුවන් සම්බන්ධ වී ඇති බවට සැක කරන තොරතුරුද විමර්ශනයේදී හෙළිවී තිබේ. ගිනි අවිය වෙඩික්කරු අතට පත්ව ඇත්තේද කංජිපානි හරහා බව ද අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු බව කියැවෙන කට් බන්දු පැය 48ක් රඳවාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *