රැඳවුම් නියෝග මත දින 90ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර සහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකළපුවේ පිහිටි කාර්යාලය පසුගිය 30 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි සෝදිසියකට ලක්කර තිබේ.
එම කාර්යාලය තුළ අවි ආයුධ සඟවා ඇති බවට ලැබී තිබුණු තොරතුරකට අනුව මෙම සෝදිසිය සිදුකර ඇත. එහි දී මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවිවලට යොදන පතරොම් 06ක් හමුවී තිබේ.
ඒ හැරුණු කොට ජංගම දුරකතන තුනක්ද, රියැදුරු බලපත්‍රයක්ද, විදෙස්ගමන් බලපත්‍රයක්ද හමුවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැර ගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය අප්‍රේල් 08 වැනිදාය.
පැහැරගත් මහචාර්යවරයා ඝාතනයකර ඇති බව විමර්ශනවලින් මේ වන විට හෙළිවී ඇති අතර සිරුර ජල පහරකට දමා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම අපරාධය හැරුණු කොට තවත් බොහෝ අපරාධ හෙළිවෙමින් ඇති බව ද එම නිලධාරියා පැවැසීය. ඒ සම්බන්ධයෙන්ද තොරතුරු සොයා බලමින් සිටින බව ද ඔහු කීය.
පිල්ලෙයාන්ගේ රියැදුරාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් 17 වැනිදා අත්අඩංගුවට ගත්තේය. ඔහුද සිටින්නේ රැඳවුම් භාරයේය.
Be First to Comment