Press "Enter" to skip to content

බුදු දහමෙන් ලද ශිෂ්ටාචාර උරුමය පදනම් කරගෙන යහපත් සමාජ පරිවර්තනයකට එක් වෙමු

බුදු දහම සමඟ ලැබුණු ශිෂ්ටාචාර උරුමය පදනම් කරගනිමින් යහපත් සමාජ පරිවර්තනයකට එක්වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලාංකේය ජනතාව ශිෂ්ටසම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදු වූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, “අනුබුදු දහමින් ලොවම නිවේවා” තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී ඊයේ (10) පැවති ජාතික පොසොන් උත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලාංකේය ජාතිය ශිෂ්ටසම්පන්න පරිවර්තනයකට ගෙන ගිය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සහ මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සැමරිය නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එම නිසා මෙවැනි ආධ්‍යාත්මික වටිනාකම් සහිත උරුමය ඇති භූමිය සුරක්ෂිත කොට මතු පරපුර වෙනුවෙන් රැකගැනීම රාජ්‍යයක වගකීම බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එම වගකීම ඉටු කළ හැක්කේ මහ පොළොව සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවතින පුරවැසියන්ට මිස පොළොවට උඩින් පාවෙන මිනිසුන්ට නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා අනුරාධපුර නගරය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව ද කියා සිටියේය.

ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත්වීමේ ආරම්භය සනිටුහන් වූයේ අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකාගමනය සමඟ බවත්, සමාජ පරිවර්තනයක් සමඟ ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අත්නොහැර ඉටු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නගරය, ප්‍රථම වැව, පළමු සැත්කම කළ ස්ථානය, යෝධ ඇළ වැනි උරුමයන් සහිත අනුරාධපුරය යළි පැරණි උරුමය ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්ය රජය සිදු කරමින් තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම ප්‍රතිනිර්මාණ කටයුතු ඉන්දියානු ආධාර යටතේ සිදු කිරීමට ඉන්දීය අගමැතිවරයා මේ වන විටත් කැමැත්ත පළ කර තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා –

“ඕනෑම ජාතියකට නැඟීසිටීමට ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. එවැනි ශක්තිමත් අත්තිවාරමක් ශ්‍රී ලාංකේය ජනතාවට බුද්ධ දර්ශනය මඟින් ලැබී තිබෙනවා.

අධ්‍යාපනය වියළුණු සමාජයක ශක්තිමත් පුරවැසියන් බලාපොරොත්තු වන්න බැහැ. වසර දෙදහසකට අධික කාලයකට පෙර මේ රටට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කළේ බුදු දහමයි.

පන්සල් පිරිවෙන් බවට පත් කරමින් මේ රටේ ජනතාවට අධ්‍යාත්මික මෙන්ම දැනුම ලබාදීමේ සමාජ මෙහෙවර ඉටු කිරීමට බුදු දහම විශාල කාර්යයක් කළා. ශිෂ්ටසම්පන්න සමාජ යන්ත්‍රණයක් ඇතිවීම එමඟින් සිදු වුණා. ඒ සඳහා වසර 2500ක ඉතිහාසයේ මේ රටේ වැඩසිටි මහා යතිවරයාණන් වහන්සේලාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.

නමුත් මේ වනවිට එම සමාජ යන්ත්‍රණය බිඳවැටී තිබෙනවා. පොලීසියේ ඇතැමුන් අපරාධකරුවන් ආරක්ෂා කරන තත්ත්වයට පත්වෙලා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්වෙලා.

පතාල නායකයන්ට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස සිරකරුවන්ට නිදහස ලබා දී තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙනවා.

මේ ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවෙයි. එම නිසා පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ටසම්පන්නභාවය රැගෙන ආ යුතුයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින් මඟපෙන්වීමක් ලබා ගත හැකියි.

ශිෂ්ටසම්පන්න ජාතියක් වශයෙන් අප මේ රාජ්‍ය ආයතන නැවත ගොඩනැඟීම සඳහා කටයුතු කරනවා. එම කාර්ය අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍යයි. මේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුයි.

වසර දෙකක කාලයක් ජාතික පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නොහැකි වූ අතර, ඒ සම්බන්ධයෙන් ඍජු තීරණයක් ගෙන ජාතික පොසොන් උත්සවය මිහින්තලයේදී පැවැත්වීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කරන ලදි.

පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම මිහින්තලේ විහාරාධිකාරී සුරුක්කුලමේ ඉන්ද්‍රරතන හිමියන් විසින් සිදු කරන ලදි.

මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙ‍නෙවි, ඇමැති වසන්ත සමරසිංහ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක, නියෝජ්‍ය ඇමැති සුසිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර, තිළිණ තාරුක සමරකෝන්, භාග්‍ය ශ්‍රී හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *