හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේ 4 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක දැන්වීම් පළ කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 17කට වැඩි මුදලක් පාඩු කිරීමේ චෝදනාව යටතේ හිටපු ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (30දා) අධිචෝදනා පත්‍ර භාරදෙන ලදි.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. අනතුරුව විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීම සිදුවිය. තමන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති සියලු චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව විත්තිකරුවන් කියා සිටියේය. මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ පූර්ව විභාග සම්මන්ත්‍රණය ලබන අගෝස්තු 20දා සිට ආරම්භ කිරීමට දින නියම කළේය.
අනතුරුව විනිසුරුවරයා, විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ ස්ථාවරය විමසා සිටියේය. එහිදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය විත්තිකරුවන් සුදුසු ඇපයක් මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව දන්වා සිටියාය.
ඉන් අනතුරුව චුදිතයන් රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙස මහාධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියම කළේය.
එම අවස්ථාවේදී විත්තිකාර ජයන්ත එදිරිසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා කරුණු දක්වමින් මෙම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියේය.
විත්තිකරුවන්ට චෝදනා කියවා දීමෙන් අනතුරුව එම මූලික විරෝධතා මතු කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ නීතිඥයන්ට දන්වන ලදි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේ 4 වැනි සංවත්සරය නිමිත්තෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීමෙන් රජයට 17,48,877.76ක මුදලක් පාඩු කිරීමේ චෝදනාව යටතේ අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දසනායක මහතා විසින් 2025 වසරේ මැයි මස 14දා චෝදනා ගොනුකර තිබේ.
විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 05ක් ඉදිරිපත්කර ඇත.
අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස යම් තැනැත්තකුට විශේෂ වාසියක් කිරීමේ අදහසින් දැන දැනම ආණ්ඩුවට පාඩු කිරීමේ චෝදනාව යටතේ අල්ලස් හෝ දූෂණ පනතේ 70 වැනි වගන්තිය යටතේ ගැනෙන දූෂණය නැමැති වරද කිරීමේ චෝදනාව යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ 113 (ඇ), 102 වගන්ති යටතේ නඩු පැවරීම සිදුව ඇත.
නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස අයෝජන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21ක් ඉදිරිපත් කර තිබේ.
චන්දන ජයවීර
Be First to Comment