Press "Enter" to skip to content

ඇමති වී වසර 4කින් කෙහෙළිය බැංකු ගිණුම් 16ක් පුරවලා.!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා කරන්නේ, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි 2020 වසරේ සිට 2024 වසර දක්වා වූ සිව් වසරක කාලය තුළ සැක සහිත බැංකු ගිණුම් 16ක් ඔස්සේ අයථා වත්කම් උපයා ඇති බවය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනු කර තිබේ. හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී, දියණියන් වන චමිත්‍රී ජයනිකා, චන්ද්‍රලා රමාලි, අමාලි නයනිකා සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අයට එරෙහිව ද චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනා ගැන විභාගය තවදුරටත් සිදුවන අතර අල්ලස් කොමිසම ගොනු කළ නඩුවට අදාළව, ඔවුන් සියලු දෙනාට කොන්දේසි සහිත ඇප ලබා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

රුපියල් කෝටි නවයකට අධික වත්කම් හෙළි නොකළ ආකාරයෙන් උපයා ගත් බවට චෝදනා කරමින් ඉදිරිපත් කර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීමෙන් අනතුරුව මෙම ඇප නියමය සිදු කෙරිණි.

එක් එක් විත්තිකරුවකු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළාය. අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කළ අතර, සියලු විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසට ද නියම කෙරිණි. මීට අමතරව, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝගයක් නිකුත් විය.

අල්ලස් කොමිසම විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම නඩුව ගොනු කර තිබූ අතර, අධිකරණයෙන් නිකුත් කළ සිතාසිවලට අනුව විත්තිකරුවන් හයදෙනාම අධිකරණයේ පෙනී සිටියහ. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය මෙම කොන්දේසි සහිත ඇප නියමය ලබා දුන්නාය. නඩුව නැවත විභාගයට ගැනීම සඳහා අගෝස්තු මස 05 වන දිනට කල් තැබිණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *