විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් මඟින් පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (04) නාරාහේන්පිට පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
‘පළාත් සභා යළි පිහිටුවනු, පළාත් සභා ශක්තිමත් කිරීමට පෙළ ගැසෙනු’ මැයෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“ආණ්ඩුවේ ජනප්‍රියතාව කඩා වැටිලා නිසා පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න හෝ තාවකාලිකව මැතිවරණය කල් දාන්න එපා. ආණ්ඩුවට පුළුවන් පරණ ක්‍රමවේදයට අනුව, අවශ්‍ය කරන ඉතාම කුඩා සංශෝධනයක් සහිතව, සමානුපාතික නියෝජන ක්‍රමය යොදා ගනිමින් ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණය තියන්න. එහෙම නැත්නම් දැනට තිබෙන සංශෝධන ටික සහිතව, අග්‍රාමාත්‍යවරියට පුළුවන් කමිටු වාර්තාවකින් ගේන යෝජනාවක් අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. මේ ක්‍රම දෙකෙන් එකක් අනුගමනය කරමින් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තියෙනවා.
පනත් කෙටුම්පත් තුනකට අදාළව අපි සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. අපේ බලාපොරොත්තුව බලය බෙදුව නම් එය බලය බෙදීමක් විදිහට නිවැරදිව ක්‍රියාත්මක කරන්න. දකුණු අතින් දෙන බලතල වම් අතින් ගන්න තැනකට ඇවිත් තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලයේ ජාතික පාසල් දහසක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒකට මම මුල ඉඳලම අකැමැති වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයට අයිති ජාතික පාසල් 343 හදාගන්න බැරිව තව 1000ක් අරන් ජාතික පාසල් 1343ක් පවත්වාගෙන යන්න කොහොමත් බැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය පළාත් සභාවට අයිති රෝහල් සම්පූර්ණයෙන් පවරා ගන්නවා. බලතල බෙදීම කරනවා නම් හරියට කරන්න. නැත්නම් බලතල බෙදීම නොකර ඉන්න. පළාත් සභාවලට වැඩ කරන්න අවශ්‍ය පහසුකම් නොදී නීතිමය විලංගු දැම්මොත් තමයි සුදු අලියෙක් වෙන්නේ. හිටපු මහ ඇමැතිවරයකු විදියට මම දන්නවා පළාත් සභා ඇතුළේ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් බව.”
Be First to Comment