Press "Enter" to skip to content

රූපලාවණ්‍ය නිෂ්පාදන ඔන්ලයින් වෙළෙඳාමට වැට බඳී

බැර ලෝහ අන්තර්ගත බවට තහවුරු වී ඇති මිනිස් සිරුරට අහිතකර රූපලාවණ්‍ය නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම වැළැක්වීම සදහා ඉදිරියේදී මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සැලසුම් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ඇතිව මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමට නියමිතය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සම සුදු කරන රූපලාවණ්‍ය ආලේපන (whitening cream) රසායනාගාර පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ඉන් වර්ග 49ක බැර ලෝහ අන්තර්ගත බව අනාවරණය වී ඇතැයි එම අධිකාරියේ අධ්‍යක්ෂ (තරගකාරීත්ව ප්‍රවර්ධන) සමන්තා කරුණාරත්න පැවැසුවාය.

මෙලෙස අන්තර්ජාලයේ අලෙවි කරන රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් ප්‍රමිතියෙන් තොර බවත්, ඒවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යොමුකර නැති බවත් ඇය කියා සිටියාය.

මෙම ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය නිෂ්පාදන බොහොමයක් විදෙස් රටවල්වලින් ආනයනය කරන ලද ඒවා බවද, ඒවා පාසල් සිසු සිසුවියන්ගේ භාවිතයට නොදෙන ලෙසද ඇය වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියාය.

මෙම බැර ලෝහ සහිත රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කරන්නේ නම් එවැනි වෙළෙඳසල් වටලන බවද ඇය සඳහන් කළාය.

පාරිභෝගික අධිකාරිය විසින් කළ රසායනාගාර පරීක්ෂාවන්හිදී සහ වෙනත් පර්‌යේෂණවලදී රජය විසින් දැනට සම්මත (ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව) රසදිය මට්ටම වන මිලියනයට කොටස් 1 (1 ppm) ක ප්‍රමාණය පෙර කී රූපලාවණ්‍ය නිෂ්පාදනවල තිබෙන බව හඳුනාගෙන ඇත.

රසදිය අඩංගු සම පැහැපත් කරන නිෂ්පාදනවල ඇති රසදිය ඍජුව සම හරහා ශරීරයට ඇතුළු වන අතර, එවැනි නිෂ්පාදන නිතර භාවිත කිරීමෙන් කුෂ්ඨ ඇතිවිම, සම දුර්වර්ණ වීම, සමට, ඇස්වලට, පෙණහලුවලට, වකුගඩුවලට, ආහාර ජීරණ පද්ධතියට, ප්‍රතිශක්තිකරණයට සහ ස්නායු පද්ධතිවලටද හානි සිදුවීම ඇතුළු බරපතළ සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ අතර 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 12(2), 10(1) (a) සහ 10(1)(b)(ii) වගන්ති යටතේ නිකුත් කරන ලද විශේෂ විධානවලට අනුකූල නොවන රූපලාවණ්‍ය ද්‍රව්‍ය (සමේ ආලේප කරන ක්‍රීම් සහ ලෝෂන්) විකිණීම තහනම් කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *