Press "Enter" to skip to content

ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා

නීතිය ස්ථාපිත කිරීම ලැබී ඇති දේශපාලන වට පිටාව ඉතා යහපත් බවත් පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

ඊයේ (17) මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී පොලිස්පතිවරයා පැවසුවේ මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන්ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බවය.

එමෙන්ම ඇතැම් පාතාල ක්‍රියාවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යම් යම් දේශපාලන ආශිර්වාද මෙන්ම පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බවද පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

තවද නීතිය ස්ථාපිත කිරීමේදි කිසිදු දේශපාලන බලපෑමක් ලැබී නැතැයිද ලැබී ඇති දේශපාලන පරිසරය ඉතා හොඳ බවත් පැවසූ පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ යම් කිසි අපරාධයක් සඟවා තැබීමට හෝ නොසළකා හැරීමට කිසිදු අවස්ථාවක තමාගෙන් නියෝග නොලැබෙන බවය.

“වෙඩි තැබීම් ගත්තොත් ඒ සම්බන්ධව අපි විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට අරන් තියෙනවා.

ඒ වගේම අපි මීට වඩා විදිමත් වැඩපිළිවෙළක් ඉදිරියට කරමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ආයතන විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගෙන, මහජනතාවගේ සහාය ලබාගෙන සැලසුමකින් කරන්න වැඩපිළිවෙළක් තියෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම අද ඊයේ ඇතිවූවක් නෙමේ, ඒ වගේම පාතාල ජීවිත හානි කිරීම් අද ඊයේ ඇතිවූවක් නෙමෙයි.

යම් යම් දේශපාලන ආශිර්වාද ලැබිලා තිබුණා, පොලීසියේ සහ නිලධාරීන්ගේ සහාය ලැබිලා තිබුණා, ත්‍රිවිධ හමුදාවේ පුද්ගලයින් ඒ සඳහා පාවිච්චි කරලා තිබුණා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේකට පාවිච්චි කරලා තිබුණා.

ඉතිං මේවාවල මෙහෙයුම් කරන්නේ නිවට නියාලු පිරිසක් විදේශගතවෙලා. මේවාට අපි ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධවෙලා වැඩකටයුතු කරමින් පවතිනවා.”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *