Press "Enter" to skip to content

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ, විශ්‍රාමික ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී (25) අවසන් කෙරුණි.

එහිදී දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ, එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කෙරෙන බවය.

එහිදී පළමුව කරුණු දැක්වූයේ නඩුවේ එක් පෙත්සම්කාර පාර්ශ්වයක්වන නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාය.

ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් පැවසුවේ, 1986 අංක 04 දරණ ජනාධිපති හිමිකම් පනතේ 03 වැනි වගන්තිය යටතේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හෝ වැන්දඹු භාර්යාවට නිවාස, විශ්‍රාමික දීමනා, කාර්ය මණ්ඩල පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් සලසාදීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවය.

“ස්වාමීනි, ජනපති සතු වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා බැඳුණු කරුණක් බැවින් ඊට අදාළ සංශෝධන සිදුකිරීමේදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතවීමට අමතරව ඒ සඳහා ජනතා අනුමැතිය ලබාගත යුතුයි. ඒ බව නඩු තීන්දු ගණනාවකින්ම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබෙනවා.”

“2015 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළින් තමන් සතු ඇතැම් බලතල අත්හැරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා මෙම බලතල ඉවත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන් අනුමැතිය ලබාගත යුතු බව. මොකද මේ බලතල පවරා තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට මිස මෛත්‍රිපාල සිරිසේනට නොවන බවත් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නා.”

“ජනාධිපතිවරුන්ට සිය නිල කාලය තුළ දැඩි අවදානම්කාරී තීන්දු ගැනීමට සිදුවෙනවා. රාජකාරී කාලය තුළ අවදානම්කාරී තීන්දු ගන්නා ජනාධිපතිවරු විශ්‍රාම ගිය පසු ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනට පවතින ජනාධිපති හිමිකම් පනත බෙහෙවින් වැදගත්.”

අනතුරුව පෙත්සම් ඉදිරිපත්කර තිබූ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සහ කථිකාචාර්ය මහින්ද පතිරණ යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා අධිකරණයේදී පැවසුවේ, විශ්‍රාමික ජනාධිපතිවරුන්ට විශ්‍රාම දීමනා ඇතුළු වරප්‍රසාද සලසාදී තිබෙන්නේ මහජනතාව විසින් බවයි.

ඒ අනුව අදාළ වරප්‍රසාද කප්පාදු කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමුකළ යුතු බවත් නීතිඥවරයා පැවසුවේය.

මෙහිදී රජය වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදුකළේය.

“ස්වාමිනි, වත්මන් රජයත් ඉකුත් මැතිවරණ සමයේ මහජනතාවට ප්‍රතිඥාවක් ලබාදුන්නා තමන් බලයට පත්වීමෙන් පසුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද ඉවත්කරන බවට. ඒ අනුවයි මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ. යෝජිත පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම සඳහා ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් නොවේ. එහි අරමුණ 1986 අංක 04 දරණ ජනාධිපති හිමිකම් පනත ඉවත් කිරීම පමණයි. මේ තුළින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන්නේ නෑ.එම නිසා අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමුකිරීම අවශ්‍ය වෙන්නේ නෑ.”

දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ, මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් දොළහට පෙර ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *