Press "Enter" to skip to content

මේ වසරේ ඇරඹූ ව්‍යාපෘති නිශ්චිත ඉලක්ක කරා මෙහෙයවන්න

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අය-වැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අය-වැය සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (25) පෙරවරුවේ පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.

රජය නිසි පරිදි අදාළ අමාත්‍යාංශ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කර තිබියදී ඒවා නිශ්චිත කාලයකදී නිසි පරිදි උපයෝජනය නොවන්නේ නම්, එය ගැටලුවක් බව ද ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

නිවාස සහ ගොඩනැඟිලි ඉදිකිරීම්වලදී මෙන්ම, නාගරික සැලසුම්කරණයේදී ද අදාළ ප්‍රදේශයේ ජනතා අදහස් සහ වුවමනාවලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා පසුගිය ආණ්ඩු තම හිතුමතේ සිදු කර ඇති ඉදිකිරීම් නිසා මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජනයක් සහිත රජයේ ගොඩනැඟිලි ඉදි වී ඇති බව පැවසීය.

පසුගිය කාලයේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කළ පාලම් ව්‍යාපෘති 18ක් අතරමඟ අත්හැර දමා තිබෙන බවත්, එම ඉදිකිරීම් නිසා තාවකාලිකව භාවිත කරන මාර්ග මේ වන විට මඩවගුරු බවට පත්වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවට පත්ව ඇති බවත් මෙහිදී අනාවරණය විය. එම ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම් අවසන් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා අවම වශයෙන් අත්‍යවශ්‍ය පාලම් 05ක ඉදිකිරීම් මේ වසරේ අවසන් කිරීමට කටයුතු කරන ලෙසට උපදෙස් දුන්නේය.

පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමඟ නතර වූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමේදී සහ ආරම්භ කළ ව්‍යාපෘති පවත්වාගෙන යෑමේදී මතු වී ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණි. එහිදී මේ වසරේදී ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, නාගරික සංවර්ධන ව්‍යාපෘති, නගර සැලසුම් ව්‍යාපෘති, කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම අංශවලට අදාළව දිවයිනේ සෑම පළාතකම ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය විමසා බැලිණි.

විශේෂයෙන්, චීන සහ ඉන්දියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. උතුරු සහ නැඟෙනහිර නැවත පදිංචිකිරීම්වලට අදාළ නිවාස ව්‍යාපෘති මේ වසරේ අවසන් කිරීමට හැකි බවට නිලධාරීහු මෙහිදී අපේක්ෂා පළ කළහ.

මේ ව‍න විට ක්‍රියාත්මක වෙමින් පවතින “හෝමාගම ටෙක් සිටි” ව්‍යාපෘතියට අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ “පොලොන්නරුව පරිපාලන සංකීර්ණයේ” ඉදිකිරීම් කටයුතු සහ “සිටි බ්‍රෑන්ඩින්ග් ව්‍යාපෘතියේ” වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී විමසා බැලිණි.

දැනට නාගරික ජනතාව වෙත ලබා දී ඇති මහල් නිවාස ඔවුන් වෙත පවරා දීමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය. අබලන් නිවාස ඔවුන් වෙත පවරා දීම වෙනුවට, ඒවා ප්‍රතිසංස්කරණය කර ලබා දීමේ වැදගත්කමත්, එසේ ලබා දුන් පසු ඒවා නඩත්තු කිරීම සඳහා විධිමත් යන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම, අර්ධ නාගරික ප්‍රදේශවල මහල් නිවාස ව්‍යාපෘති සඳහා එම ප්‍රදේශවල ජනතාවගේ ඇති ඉල්ලුම සහ කැමැත්ත පිළිබඳ සොයා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ඉඩම් අත්පත් කරගැනීම්වලට අදාළ ගෙවීම් කටයුතුවලදී මතුව ඇති නීතිමය ගැටලු පිළිබඳව මෙහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කරන ලද අතර එම ගැටලුවලට ලබා දිය හැකි විසඳුම් පිළිබඳ යෝජනා සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

රජයේ නිවාස ව්‍යාපෘතිවලින් දැනට ප්‍රතිලාභ නොලබන, එහෙත්, ප්‍රතිලාභ ලැබිය යුතු ජනතාව වෙනුවෙන් රජයේ මැදිහත්වීම සහිත ක්‍රමවේදයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ පිළිබඳ බැංකු සමඟ සාකච්ඡා කර රජයේ දායකත්වයද සහිත ක්‍රමවේදයක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, වේරැස් ගඟ ව්‍යාපෘතිය, කොළොන්නාව වැසි ජල ව්‍යාපෘතිය ඇතුළු ගංවතුර සහ ආපදා තත්ත්ව වැළැක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය විමසා බැලිණි.

මෙහිදී නිලධාරීන් සඳහන් කළේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ සහාය ඇතිව එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක වන බවයි. ගංවතුර ඇතුළු හදිසි අවස්ථාවලට මුහුණ දීමේ පූර්ව සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති යටතේ යාපනය, මහකොළඹ, මහනුවර, අනුරාධපුරය සහ කළුතර ආදී ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා විය.

පසුගිය රජයන් යටතේ ජල සැපයුම් ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් ගෙන්වා, විවිධ ප්‍රදේශවල අත්හැර දමා තිබෙන ජල නළ උපයෝගී කර ගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ජල සැපයුම් විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවත්, විශේෂයෙන්, රජයේ මැදිහත්වීම සහිත ඉදිකිරීම් සඳහා උපදේශන සේවාවක් ඇති කිරීමේ අවශ්‍යතාවත් සාකච්ඡාවට බඳුන් කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහත්වරු මේ අවස්ථාවට එක්වූහ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ද, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙහි සිටියහ.

උපාලි කරුණාරත්න

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *