ධෛර්යයෙන්, විශ්වාසයෙන් සහ උජුපටිපන්න ගුණයෙන් යුතුව වඩා යහපත් සමාජයක් ගොඩනැඟීමට එක්ව පෙරට යමු යැයි ජනාධිපතිවරයා මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාට ආරාධනය කර සිටියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (26) පස්වරුවේ කොළඹ, අරලියගහ මන්දිරයේ පැවති ජාතික භික්ෂු දින සමුළුවට සහභාගි වෙමිනි. “කාලො අයං තෙ” – “මේ ඔබට කාලයයි” තේමාව යටතේ පැවති මෙම සැමරුම සඳහා දිවයින පුරා සිටින භික්ෂුන් වහන්සේ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැඩම කර සිටියහ.
තමන්ට තිබෙන බලය අසීමිත ලෙස ධනය එක්රැස් කරගන්නා මෙවලමක් ලෙස භාවිත කළ සහ මහජනතාවගේ මුදල් හිතුමතේ වැය කළ විනාශකාරී ගමන නැවත හැරවීම සඳහා තිර අදිටනෙන් කටයුතු කරන බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා කුමන ඝෝෂාවක් තිබුණ ද එම ගමන ආපසු හරවන්නේ නැති බවත්, වත්මන් රජය එම වගකීම ඉටු නොකළහොත් කිසිදු රජයක් එය සිදු නොකරනු ඇති බවත් මෙහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා –
ජාතික භික්ෂු පෙරමුණ අගෝස්තු 26 වැනිදා ජාතික භික්ෂු දිනය ලෙස නම් කර දීර්ඝ කාලයක්. අපේ මහා සංඝරත්නය සහ පොදු සමාජය සමඟ අපේ රට පිළිබඳව, එකිනෙකාට පැවරෙන කාර්යභාරය ගැන සාකච්ඡාවක නිරත වුණා.
වර්තමානයේ ද අප හමුවේ පවතින අභියෝග සහ අප වෙත පැවරී ඇති කාර්යභාරය පිළිබඳව අපේ මහා සංඝරත්නය සහ පොදු සමාජය සමඟ සාකච්ඡා කිරීම අවශ්‍ය වී තිබෙනවා. එම අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව විශේෂයෙන් ජාතික භික්ෂු පෙරමුණේ සංවිධායක ස්වාමීන් වහන්සේලාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
අපේ සංඝ සමාජයට අපේ රට පිළිබඳවත්, ජනතාව පිළිබඳවත් ඒ වගේම අපේ රටේ පාලනය පිළිබඳවත් අත්හළ නොහැකි ඓතිහාසික උරුමයක් සහ වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඇති වන්නේ අපේ මහා සංඝරත්නය ඓතිහාසිකව ඉටු කරන ලද මහා කාර්යයක ප්‍රතිඵලය නිසයි. එසේ නොමැතිව ව්‍යවස්ථාව තුළ අපේ මහා සංඝරත්නයට පාලනය පිළිබඳ තිබෙන වගන්ති මත නොවෙයි. දිගු කාලයක් අපේ මාතෘ භූමිය පිළිබඳවත්, අපේ පොදු ජනයා පිළිබඳවත්, පාලකයන් පිළිබඳවත් දක්වන ලද ඓතිහාසික මැදිහත්වීම හේතු කරගෙනයි. ජනාධිපතිවරයා ලෙස මට බලය පවරා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන්. හැබැයි, ඔබවහන්සේලාට වගකීම සහ යුතුකම් පවරා තිබෙන්නේ උරුමයෙන්.
ශ්‍රී ලාංකේය සමාජය මේ දක්වා වර්ධනය වීමේදී මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය සමඟ පැමිණි බුදු දහම විශාල පිටිවහලක් වුණා. ඒ වගේම අපේ සාහිත්‍යය, ලේඛන කලාව මේ දක්වා වර්ධනය වීමේදී අපේ මහා සංඝරත්නය ඓතිහාසිකව සිදු කළ කාර්යභාරය විශාලයි. නිදහස් අධ්‍යපන පනත ගෙන එන අවස්ථාවේදී අපේ යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම නායක ස්වාමින් වහන්සේ, නාත්තන්ඩියේ පඤ්ඤාකර නායක ස්වාමින් වහන්සේ, කොටහේනේ පඤ්ඤාකිත්ති නායක ස්වාමින් වහන්සේ සහ වල්පොළ රාහුල නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සිදු කරන ලද කාර්යභාරය අති විශාලයි.
එම රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී නල්ලයියා කියන මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළා. “භික්ෂුන් වහන්සේ පිරිස නොවන්නට මේ පනත සාකච්ඡා කිරීමක් හෝ වන්නේ නැහැ” කියලා. ඒ තමයි උරුමය, ඒ වගේම අපේ රට යටත්විජිතයක් බවට පත් වූ විට, ඒ සෑම අවස්ථාවකදීම අපේ රටේ නිදහස පිළිබඳවත්, ජනතාවගේ නිදහස පිළිබඳවත් ශ්‍රී සුමංගල නායක හිමියන් ඇතුළු එවකට වැඩ සිටි මහා සංඝරත්නය විශාල සටනක් ගෙන ගියා. එය තමයි අපේ මහා සංඝරත්නය වෙත පැවරී තිබෙන මාතෘ භූමියේ නිදහස පිළිබඳ උරුමය.
එහිදී ආණ්ඩුකාර මේට්ලන්ඩ් මේ සම්බන්ධයෙන් එංගලන්තයට වාර්තාවක් යවනවා. ඒ වාර්තාවේ මෙහෙම සඳහන් වෙනවා. “පූජකයන්ගේ බලපෑම ඉතා විශාලයි. බොහෝ අවස්ථාවලදී මුදලිවරුන්ගේ බලපෑමටත් වඩා විශාලයි”. එය තමයි අපේ මහා සංඝරත්නයේ තිබෙන ඓතිහාසික උරුමය. අපේ මාතෘ භූමියේ නිදහස පිළිබඳවත්, ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවත් කරන ලද ඓතිහාසික කාර්යභාරයේ උරුමය තමයි ඔබ වහන්සේලාගේ දෙවුර මත පැවරී තිබෙන්නේ.
මම සිතනවා ඒ උරුමයේ වැදගත් සන්ධිස්ථානයක් තමයි පසුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණය. අපේ රට විනාශකාරී අන්තයකටම ගමන් කර තිබූ අවස්ථාවක එම තත්ත්වයෙන් අපේ රටත්, ජනතාවත් නිදහස් කරගැනීමේ අරගලයේදී අපේ මහා සංඝරත්නය එම ඓතිහාසික උරුමය නැවත සපථ කොට පෙන්වා දුන්නා. ඔබ වහන්සේලා මෙම පරිවර්තනයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. ඉතා දුෂ්කර පරිච්ඡේදයක සිට ජයග්‍රහණය දක්වා ඔබ වහන්සේලා විසින් කරන ලද කාර්යභාරය ඉතා විශාලයි.
දැන් අපට පැවරී තිබෙන වගකීම කුමක් ද? අප හමුවේ තිබෙන්නේ කුමන අන්දමේ රටක් ද? එක පැත්තකින් වගකිව යුතු, වගකීම් සහිත රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරි තන්ත්‍රය විශාල බිඳ වැටීමකට භාජන වී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ නිදන් කඩන්න යනවා. හමුදාවේ උසස් නිලධාරීන් නිදන් හාරන්න ගිහින් තිබෙනවා. බන්ධනාගාරයේ උසස් නිලධාරීන් කිසිදු වග විභාගයකින් තොරව, අනුමැතියකින් තොරව සිරකරුවන් නිදහස් කරනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව පාතාල නායකයන්ට පාස්පෝට් හදනවා. හමුදා කඳවුරු වලින් ටී 56 අවි එළියට පිටවී තිබෙනවා. තමන්ගේ වගකීම මුදල්වලට හිලව් කර තිබෙනවා. තාන්න මාන්නවලට හිරකර තිබෙනවා.
ඒ හා සමානව ආර්ථික දේහයටත් බලපෑම් එල්ල කර තිබෙනවා. මාතර ප්‍රදේශයේ ඉදිකර තිබෙන සමහර ගොඩනැඟිලි ඉදිකිරීමට හේතුවක් නැහැ. ඒ ඒ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන ප්‍රදේශය අනුව ඒ ප්‍රදේශයට ගොඩනැඟිලි ඉදිකර තිබෙනවා. එම ගොඩනැඟිලි ඵලදායි කටයුත්තකට ලබාගෙන නැහැ. ඒ අනුව ආර්ථිකය විනාශකාරී තැනකට පත්වී තිබුණා.
අපේ තේ වගාවට, රබර් වගාවට සිදු වී තිබෙන දේ ඉතාම ඛේදනීයයි. අපේ පොල් ගසකින් ගෙඩි අසූවක් ගන්න පුළුවන්. නමුත් දැන් තිබෙන පොල් ගස්වලින් ගෙඩි 30 – 40ක් පමණයි ලබා ගන්න පුළුවන්. මුළු ආර්ථික දේහයම කඩා වැටිලා.
නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා තිබුණා. බලය තිබෙන අයට එක නීතියක්, දුප්පත් අයට තවත් නීතියක් තිබුණේ. බලය තිබෙන අයට නීතියෙන් බේරෙන්න පුළුවන් කියලා සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබුණා. තමන්ට තමන්ගෙන් පසු පරම්පරාවට බලය පෙළගස්වන්නේ කොහොම ද ? කියන ක්‍රමයට කොටුවී තිබුණා. තමන්ට තිබෙන බලය අසීමිත ලෙස ධනය එක්රැස් කරගන්න මෙවලමක් ලෙස භාවිතකර තිබුණා.
මේ විනාශකාරී ගමන නැවත හැරවීම සඳහා අප තිර අදිටනෙන් යුතුව කටයුතු කරනවා. කුමන ඝෝෂාවක් තිබුණත් මේ ගමන ආපසු හරවන්නේ නැහැ. මා හෝ මාගේ රජය මේ කටයුත්ත නොකරන්නේ නම් කිසිදු රජයක් මේ කටයුත්ත නොකරනු ඇති. පළමුව සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. එවැනි සංස්කෘතියක් අප නිර්මාණය කරනවා. ධනය, බලය, ඉතිහාසය ඒ කිසිවක් අදාළ වන්නේ නැහැ. අප රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ තැනක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනක බලය අනිසි ලෙස භාවිතකර තිබෙනවා නම්, ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන ඒම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. එය පළිගැනීමක් නෙවෙයි. දඩයම් කිරීමක් නෙවෙයි.
මහජනතාවට විශ්වාසයක් සකස් කරන්න පුළුවන් එලෙසයි. නීතියේ පොදු සංකල්පය නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන බව අප ස්ථාපිත කරනවා. පොදු පුරවැසියා පිළිබඳ නීතිය, යුක්තිය පිළිබඳ සාධාරණ විශ්වාසයක් ඇති කරනවා. දේශපාලකයාටත් තමන්ට ලැබෙන බලය රිසි රිසි සේ මහජනයාගේ ධනය විනාශ කරන බලයක් ලෙස නොහැඟෙන ආකාරයට සකස් කරනවා. අපිට අණ පනත්වලින් ලැබී තිබෙන බොහෝ දේවල් මේ වන විටත් අත්හැර තිබෙනවා.
පාලකයා පොදු පුරවැසියා ඉදිරියේ හෘද සාක්ෂියක් සහිතව කටයුතු කළ යුතුයි. පාලකයා පොදු පුරවැසියා ඉදිරියේ ඇති තරම් ධනය නාස්ති කර රට හදන්න එකතු වන්න කියා පොදු පුරවැසියාට ආරාධනා කරන්න බැහැ.
මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ කිරීමට ලැබෙන වරමක් ලෙස දේශපාලන බලය භාවිත කිරීමට මින් මතු ඉඩ තබන්නේ නැහැ.
හිටපු ජනාධිපතිවරයෙක්ට නිෙවසක් ලබාදිය යුතු යන්න පනතේ තිබුණත් නිෙවසේ ප්‍රමාණය අලුත්වැඩියා කිරීමේ මුදල් එහි සඳහන් වී නෑ. එම නිසා පාලකයෙක් එම නීතියේ සීමාව හෘද සාක්ෂියක් නොමැතිව වර්ග අඩි 30,000ක නිවාස භාවිත කිරීමට කටයුතු කරමින් සිටියා. අපි සැප්තැම්බර් මස පළමු සතියේදී මේ ප්‍රමාණ ඉවත් කරනවා. අනෙකාට කෙළින් ඉන්න කියන්න අපි මඩේ හිටපු ඉන්නක් ලෙස වැනෙන්න බලාපොරොත්තු වන්නේ නැහැ. අපි ගන්න තීන්දුව ක්‍රියාත්මක කරනවා.
මහජනයාගේ ධනය හොරකම් කරන, නාස්ති කරන දේශපාලනය අවසන් කරනවා. භාණ්ඩාගාරයට එන ධනය භාණ්ඩාගාරයට එන්න කලින් විවිධ තැන්වල නැවතී තිබුණා. සමහර මුදල් ඇමැතිවරුන්ට හරවා ගෙන තිබුණා. ඉදිරියට එවැනි දෙයක් සිදු වන්න දෙන්නේ නැහැ. ඈත ගම්වල දුවා දරුවන් නිසි අධ්‍යාපනයක් නැතුව දුක් විඳිමින් ජීවත් වෙනවා. නිසි සෞඛ්‍ය ක්‍රමයක් නැතුව ඈත ගම්වල ජනතාව දුක් විඳිනවා. අයුතු ලෙස කවර හෝ පුරවැසියෙක් මහජනතාවගේ මුදල් අත්පත් කරගෙන තිබෙනවා නම්, එය නැවත පවරා ගන්නවා. ඉදිරියටත් රාජ්‍ය නිලධාරියෙක් හෝ දේශපාලනඥයෙක් එවැනි සිදුවීමක් සිදු කරන්න දෙපාරක් හිතන තරමට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.
පහුගිය වසර 75 එහෙම අය-වැය ලේඛනයක් ඉදිරිපත් කළා. එහිදී අපේක්ෂා කළ ආදායම ලබාගෙන නැහැ. නමුත් ඊට වඩා වැඩිපුර වියදම් සිදුකර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පළමු වතාවට අප අපේක්ෂා කළ ආදායමට වඩා වැඩි ආදායමක් ලබාගෙන තිබෙනවා. අපේක්ෂා කළ වියදමට වඩා වියදම අඩු කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙනවා. භාණ්ඩාගාරයට එන ධනය වෙන වෙන තැන්වලට හැරවීමට අප කටයුතු කර නැහැ.
භාණ්ඩාගාරයට රුපියල් අවශ්‍ය වගේම රටට ඩොලර් අවශ්‍යයි.
ඩොලර් සංචිතය ගොඩනැඟීමට සංචාරක ව්‍යාපාරය, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන ලද මුදල්, විදෙස් ඍජු ආයෝජන බලපානවා. මේ ක්ෂේත්‍ර තුනේම වාර්තාගත ආදායමක් මේ වසරේ ලබාගැනීමට වත්මන් රජය සමත්ව තිබෙනවා. ශක්තිමත් ඩොලර් සංචිතයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. වසා දමා තිබූ ආර්ථිකය නැවත විවෘත කරමින් ඉදිරියට ගෙන යෑමට රජය කටයුතු කළා. ඩොලර් කෝටි 130කට ආසන්න වාහන ණයවර ලිපි විවෘත කර තිබෙනවා.
පාසල් පද්ධති යළි ස්ථානගත කිරීමට අපි අදහස් කරනවා. ළමයි දෙන්නයි ගුරුවරු හතරයි. ඒ ළමයින්ට හෝ ගුරුවරුන්ට වැඩක් නැහැ. මේ අපේ රටේ පාසල්වලින් ආසන්න වශයෙන් 18%ක ළමයි 50ට වඩා අඩුයි. පාසල් 10,000කට මදක් වැඩි සංඛ්‍යාවෙන් එක්දාස් හාරසීයකට ආසන්න සංඛ්‍යාවක ළමයි 50ට අඩුයි. පාසල් පන්දහස් ගණනක ළමයි 200ට වඩා අඩුයි. මේවා පාසල් නෙවෙයි. පැරණි වාර්තාවකට අනුව ළමයි 30,000ක් සාමාන්‍ය පෙළ නොකර පාසල් හැර යනවා. අපි සැලැස්මක් හදනවා. කිසි දරුවෙක් සාමාන්‍ය පෙළ ලියන්නේ නැතුව පාසලින් එළියට එන්න බෑ. එහෙම දරුවෙක් ඉන්නවා නම්, ආණ්ඩුවේ නිලධාරීන් ගිහින් බලන්න ඕනෑ එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා.
අපේ දුප්පත්භාවය නූගත්භාවයත් සමඟ ගැට ගැසී තිබෙනවා. අපේ රිමාන්ඩ් වන සිරකරුවන්ගෙන් 70%කට වැඩිය ප්‍රමාණයක් අටේ පන්තියට පෙර පාසල හැර ගිය අයයි. අධ්‍යාපනයයි අපරාධයි අතර සම්බන්ධයක් තිබෙනවා. අධ්‍යාපනය හා මත්ද්‍රව්‍ය අතර සම්බන්ධයක් තිබෙනවා. සමාජය පරිවර්තනය කිරීමේදී වැදගත්ම කාරණය වන්නේ අධ්‍යාපනයයි. හැබැයි අපේ තිබුණ අධ්‍යාපනය ඒ කාර්යය ඉටු කිරීමට අසමත් වී තිබෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් පිළිබඳව අප සාකච්ඡා කරමු; සංවාද කරමු. ගැටලු තිබෙනවා නම්, අපේ ස්වාමීන් වහන්සේලා ඒ බව අප දැනුම්වත් කරන්න. ඒ තුළින් අපි අපේ දරුවන්ට ලෝකයත් සමඟ ගැළපිය හැකි අධ්‍යාපනය ක්‍රමයක් නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා.
අපේ සෞඛ්‍ය පද්ධතිය සඳහා නව මාවතක් අපට අවශ්‍යයි. අවුරුද්දකට මිලියන 40ක් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් බෙහෙත් ගන්නවා. පෞද්ගලික අංශයෙන් මිලියන 40ක් බෙහෙත් ගන්නවා. ඒ අනුව වසරකට මිලියන 80ක් රජයේ හෝ පෞද්ගලික අංශයේ රෝහල්වලින් බෙහෙත් ගන්නවා. ජනගහනය මිලියන 22ක් වගේ. හැබැයි ඉස්පිරිතාලෙට යනවා මිලියන 80ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් එක් අයෙක් හතර වතාවක්වත් රෝහලට යන සංස්කෘතියක් තිබෙනවා. ඒ වැරදි සෞඛ්‍ය දේහය ඒ නිසා සෑම පවුලකටම පළමු ප්‍රාථමික වෛද්‍යවරයෙක් වශයෙන් යොදන්න අපි උත්සාහ කරනවා. ලෙඩා සුදුසු ස්ථානයට යොමු කළ යුත්තේ වෛද්‍යවරයායි. එසේ නැතුව එම තීරණය ගත යුත්තේ රෝගියා නෙවෙයි.
ඒ වගේම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා. ක්‍රීඩාව, සෞඛ්‍යය, අධ්‍යාපනය විසින් තමයි යහපත් ගුණාංගවලින් පිරිපුන් පුරවැසියන් බිහි කරන්නේ. අද මේ රටේ අපරාධ සිදුවීම් පිටුපස තිබෙන්නේ මේ සමාජය බිඳවැටීමේ විශාල ඛේදවාචකයේ ප්‍රතිවිපාකයි.
අද අපේ ස්වාමීන් වහන්සේලා දන්නවා අද අපට වාර්තා වන සිදුවීම් ගත් විට මේ සිදුවීම් විශාල ප්‍රමාණයක් අපේ සමාජය බිඳවැටීමේ ඛේදවාචකයේ ප්‍රතිවිපාක. මම මෑතකදී ශ්‍රී ලංකාවේ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු කැඳෙව්වා. ඔවුන් මට කිවුවා ශ්‍රී ලංකාවේ දැනට වැඩියෙන්ම වාර්තා වන අපරාධ ලිංගික අපරාධ කියලා. ඒ අතරිනුත් වැඩියෙන්ම වාර්තා වන්නේ ළමා ලිංගික අපරාධ. ඇයි, මේ සමාජය යහපත් ලෙස පරිවර්තනය වී නැහැ.
අධ්‍යාපනය, සෞඛ්‍යය, ක්‍රීඩාව හා ආර්ථිකය මේ කිහිපයක ඒකාබද්ධ වූ විට පමණයි යහපත් පුරවැසියෙක් ගොඩනැඟිය හැකි වන්නේ. අපේ මහා සංඝරත්නය ගම්, නියම් ගම් කරා වැඩම කරමින් යහපත් සමාජයක් පිළිබඳ දේශනාව, ඔහුගේ ඇයගේ යුතුකම් පිළිබඳ දේශනාව, සමාජය පිළිබඳ තමන්ට තිබෙන වගකීම පිළිබඳ දේශනාව අලුත් සමාජ පරිවර්තනයක් සඳහා අවදි කළ යුතු කාලය එළැඹ තිබෙන බව අපි විශ්වාස කරනවා.
අපේ මහා සංඝරත්නයට පැවරී තිබෙන සහ ඓතිහාසික වශයෙන් උරුමය සහ පාලකයන් ලෙස අපට පැවරී තිබෙන කාර්යයක් තිබෙනවා. ඒ වගේම මිනිසෙක් ලෙස මම ඉටු කළ යුතු යුතුකම වගේම, ජනාධිපතිවරයා ලෙස මට කාර්යයක් පැවරී තිබෙනවා, ඒ වගේම මිනිසෙක් ලෙස මට යුතුකමක් තිබෙනවා. එය මම හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා පාලකයා ද, මහා සංඝරත්නය ද, ආගමික පූජකවරුන් ද, බොදු සමාජය ද එක විට එකට හුස්මක් ගත්තොත් මේ සමාජය ඉතා වේගයෙන් අලුත් පරිවර්තනයකට ලක් කළ හැකියි.
මම හිතනවා මෙය තමයි අවස්ථාව. හැබැයි මෙම නව පරිවර්තනයේදී බියට පත්වන කණ්ඩායමක් සිටිනවා. ඔවුන් නව පරිවර්තනයට සූදානම් නැහැ. නීතිය කාටත් සාධාරණයි පැවසූ විට කඩිගුල ඇවිස්සුණා වගේ දඟලන්නේ ඇයි. ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඔවුන් අපරාධකරුවන් බව, වංචනිකයන් බව. ඒ නිසා නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි යන සංකල්පයට ආශීර්වාද කරන්න ඕනෑ.
නරක දේ වෙනුවට නරක දෙයක් දෙන එක අසීරු නැහැ. පසුගිය ඉතිහාසයේම සිදු වුණේ එයයි. හැබැයි අපිට දැන් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න වෙලා තිබෙන්නේ. අපි හමුවේ තිබෙන සියල්ල නරක දේවල්. අපේ ව්‍යායාමය මේ නරක දේ වෙනුවට හොඳ දෙයක් දෙන එකයි. ඒ සඳහා ධෛර්යය, විශ්වාසය, අත් නොහැරීමේ ගුණාංගය මේ සියල්ල තිබිය යුතුයි. මා සිතනවා අප සතුව එය තිබෙනවා.
අපේ පළමු පියවර සාර්ථකව අවසන් කොට තිබෙනවා, හැබැයි දෙවැනි පියවර ඊටත් වඩා දුෂ්කර ව්‍යායාමයක්, මහා සංඝරත්නය ඇතුළු අප සියලු දෙනා එක් වී අපේ රට මීට වඩා හොඳ යහපත් රටක් බවට පත් කිරීමට, මේ වියළුණු, තෙතමනයක් නොමැති සමාජයට තෙතමනය සහ යළි ජීවය කැටුව ඒමට එක්ව වැඩ කරමු කියා ඉල්ලා සිටිනවා.
-උපාලි කරුණාරත්න
Be First to Comment