හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අදහස් දැක්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීමට යන බවට තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කර ඇත.
විදේශගතව සිටින තමන්ට අත්අඩංගුවට ගැනීමකින් තොරව මෙරටට පැමිණීමට අවසර දෙන ලෙසට වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ආගමන හා විගමන පාලක ඇතුළු පිරිසක් මේ පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.
ශාන්ත සමරවීර නමැති පුද්ගලයකුගේ අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ඉකුත් ජූලි මස 28 වැනිදා හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගත් බව පෙත්සමෙහි සඳහන් වේ.
කොටි සංවිධානයේ ත්‍රිකුණාමලයේ හිටපු නායකයකු මෙන්ම එම දිස්ත්‍රික්කයේ හිටපු බුද්ධි අංශ නායකයකු වන සෙල්වතම්බි මහේන්ද්‍රන් නමැත්තා දුන් ප්‍රකාශයක් මත එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පෙත්සම්කරු කියයි.
හිටපු නාවික හමුදාපතිවරයා කොටි සංවිධානයේ නායකයකුගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මස 05 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් විවේචනාත්මක අදහස් දැක්වූ තමන් පොලීසිය විසින් අනීතික ලෙස හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවට චෝදනා කළ බව පෙත්සම්කරු සඳහන් කර ඇත. එහෙත් තමා කිසිදු ජනවර්ගයකට හෝ ආගමකට බලපෑම් වන ආකාරයේ නොසන්සුන් වන ආකාරයේ ප්‍රකාශයක් එහිදී සිදු නොකළ බවත් පෙත්සම්කරු කියයි.
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම පිටුපස ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත ජීවත් වන බෙදුම්වාදී එල්ටීටීඊ හිතවාදීන් සිටින අතර මෙරට සන්නද්ධ හමුදාවන්ගේ කීර්ති නාමයට කැළැලක් ඇතිකිරීමටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ මෙරට සන්නද්ධ හමුදාවන්ට එරෙහිව පදනම් විරහිතව එල්ල කරන ලද යුද අපරාධ චෝදනා සාධාරණීකරණය කිරීමට ඔවුන් උත්සාහ කරන බවටත් තමා විශ්වාස කරන බව පෙත්සම්කරු කියා සිටී.
ඇප රහිතව තමන්ව රිමාන්ඩ් භාරයට පත් කිරීමේ අරමුණින් විමර්ශනයක් ආරම්භ කර එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත අවභාවිතාවට ලක් කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකරුවන් සූදානම් වන බවට පෙත්සම්කරු චෝදනා කරයි.
අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් පළ කළ අදහස් පදනම් කරගෙන තමන් අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකරුවන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටී.
Be First to Comment