සෙවණගල උක් මිලදී ගැනීමේ අර්බුදයට විසඳුමක් ලෙස ගිනිගත් උක් මෙට්‍රික් ටොන් එකක් රුපියල් 5,000ක මුදලකට මිල දී ගැනීමටත් රුපියල් 10,000ක්ව පැවති අමු උක් මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 9,000ක් දක්වා අඩු කර ගෙවීමටත් පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
සෙවණගල ලංකා සීනි සමාගමේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් ඊයේ (03) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.
“ උක් ගොවීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණයක් අරගෙන තිබෙනවා ලංකා සීනි සමාගමට උක් සැපයීම නවත්වන්න. ගිනි තියපු උක් මෙට්‍රික් ටොන් 14000ක් සීනි සමාගම මිලදී ගන්නතුරු ඔවුන් උක් සපයන්නේ නෑ කියනවා. ට්‍රැක්ටර් රියදුරන්ගේ සංගමය උක් ප්‍රවාහනය කිරීම නවත්වලා. ගිනි ගත්තෙ නැති අමු උක් සපයන ගොවියනුත් උක් සැපයීම නවත්වලා තියෙනවා. ගිනි ගත් උක් ගොවීන් වෙනුවෙන් සහාය පළ කරන්න.
ආයතනයේ සීනි සහ එතනෝල් නිෂ්පාදනය කරන්නේ උක් සැපයීම මතයි. ගොවියා උක් සපයන්නේ නැත්නම් අපට නිෂ්පාදන කටයුතු කරගෙන යන්න බැහැ. මේ ආයතනය පවතින්නේ ගොවියන් වෙනුවෙන්. විවිධ පාලන කාලවල නාස්තිය දූෂණය නිසා අර්බුදයට ලක් වූ ආයතනයක්. මේ ආයතනය වහන්නේ නැතිව පෞද්ගලීකරණය කරන්නේ නැතිව රජයේ අයිතිය යටතේ පවත්වාගෙන යන්නෙත් මේ පළාත්වල ඉන්න උක් ගොවියන් වෙනුවෙන්.
පැල්වත්ත, සෙවණගල, තණමල්විල ප්‍රදේශවල පවුල් ලක්ෂයක් පමණ උක් වගාවෙන් ජීවත් වෙන අය. මේ ආයතනය පාඩු ලැබුවොත් බලපෑම වෙන්නේ උක් ගොවියාටයි. ලබන කන්නෙත් ගොවීන්ට පොහොර ටික දෙන්න ඕනෑ. ඉඩම් සකස් කර දෙන්න ඕනෑ. ප්‍රවාහන පහසුකම් දෙන්න ඕනෑ. ගිනි තියාපු උක් අපි ලබා ගැනීමෙන් කිසිම පලක් නැහැ. ඒ උක් ඇඹරුවොත් සෙවණගල තියෙන එකම කටර් එකත් කැඩෙන්න පුළුවන්. එහෙම වුණොත් සෙවණගල කර්මාන්ත ශාලාව වහන්නයි වෙන්නේ.
ඒක නිසා මේ කන්නයට පමණක් බලපාන පරිදි සාධාරණ මිලකට මේ උක්ටික ලබාගන්න අපි ලෑස්තියි. මේ ටික ආයතනය ඇතුළට ගත්තා කියලා සීනි හදන්න බැහැ. ඒවා විනාශ කරන්නයි වෙන්නේ. සාධාරණ මිලකට ගන්න ප්‍රමාණයෙන් අපට වෙන පාඩුව දැනට අනෙකුත් උක් සපයන ගොවියන් අතරේ බෙදා දෙන්න සිද්ධවෙනවා. මෙතනදී ගිනිගත් අය වෙනුවෙන් අමු උක් සපයන ගොවියන් කැප කිරීමක් කරලා තියෙනවා. ඒ සියලු ආයතනයට දරා ගන්න බැරි පාඩුව මේ කන්නේ මිලදී ගැනීමේ මිලෙන් අඩු කරන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. කොළපාට අමු උක් සපයන අයට අපි ටොන් එකකට රුපියල් 10000ක් ගෙවනවා. මේ ප්‍රශ්නය විසඳන්න මේ කන්නයට විතරක් ඒක රුපියල් 9000ක් දක්වා අඩු කෙරෙනවා. ගිනිගත් උක් මෙට්‍රික් ටොන් එකක් රුපියල් 5000 ගානේ මිල දී ගන්නවා. ගිනි ගත්ත උක්වලට ගෙවන මුදල අමු උක් සපයන ගොවියන් අතර සාධාරණ ආකාරයට බෙදී යන ආකාරයට යෝජනා කරන්න අපට පුළුවන්. අමු උක් ගොවියන් සහ ට්‍රැක්ටර සංගමය ගිනි ගත්ත උක් ගොවියන් වෙනුවෙන් පෙනී සිටිනවා නම් මේ පාඩුව ඒ සියලු දෙනා අතර සමව බෙදා හැරීමෙන් මේ අර්බුදය විසඳන්න පුළුවන්. ආයතනය මේ පාඩුව දරා ගත්තොත් නැවත ඊළඟ කන්නේ පොහොර සහනාධාරයෙන් හරි බීජවලින් හරි ගෙවීම්වලින් හරි පාඩුව පියවගන්න සිද්ධ වෙනවා. ලබන කන්නේ සුපුරුදු පරිදි ටොන් එකට රුපියල් 10000ක මුදල ගෙවනවා. ගිනි ගත්ත උක්වලට ගෙවන මුදල කන්නය අවසානයේදී ගෙවන්නත් අමු උක් සපයන අයට ඒ වෙලාවෙම මුදල් ගෙවන්නත් තීරණය කරලා තියෙනවා. ඒ වගේම අපි ගොවියන්ගෙන් ඉල්ලනවා, නැවත උක් වගාවන් ගිනි තියන්න එපා. නැවත ගිනි තියන අයට ඒ ගෙවීම් සිද්ධ වෙන්නේ නැහැ.
උක් වගාවන්ට ගිනි තැබීම සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු දිගටම පවත්වා ගෙනයනවා. මෙවැනි බාල වැඩවලින් මේ ආයතනය වහන්න කවුරුහරි බලාපොරොත්තු වෙනවා නම් කවදාවත් ඒක වෙන්නේ නැහැ. මේ විසඳුම යෝජනා කරන්නෙත් ගොවි ජනතාව වෙනුවෙන්. මේ පළාතේ ගොවි ජනතාවට ජීවත් වෙන්න වෙන විකල්පයක් නැහැ. තව දේශපාලනඥයෝ පිරිසක් හෙට මේ පිටිපස්සෙන් ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න ලෑස්ති වෙන බව අපිට ආරංචි වෙනවා. මේ තුළින් දේශපාලන වාසි ගන්න හුඟක් අය ඉන්නවා. දේශපාලනය කරන්න ඕන තැන් තියෙනවා. අහිංසක මිනිස්සුන්ගේ දුක වෙනුවෙන් ඒක පාවිච්චි කරන්න එපා කියලා අපි ඉල්ලීම කරනවා. ගොවි ජනතාවට අපි කියන්නේ බෙදෙන්න එපා. දේශපාලන මතය කුමක් වුණත් එකට ඉන්න.
සීනි බෙදා හැරීමේ සැලැස්මක් අපි හදල තියෙනවා. කිලෝ එකේ පැක් එක බෙදා හැරීම, රජයේ ආයතනවලට සීනි අලෙවි කිරීමේ වැඩසටහන, සමුපකාර පැකේජ් වලට සීනි බෙදාහැරීම, සීනි අපනයනය කරන්න වගේම හෙක්ටයාර් පන්සියයක් වෙන් කරලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න වෙනම පැකේජ් එකක් හදලා ඒක කැබිනට් එකේ අනුමත කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි අමතර ප්‍රාග්ධන මුදල් භාණ්ඩාගාරයෙන් වෙන් කරගෙන තියෙනවා. මේ සියලු සැලසුම් හදල තියෙද්දි තමයි පිරිසක් ගොවි ජනතාව දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව පාවිච්චි කරමින් මේ කුමන්ත්‍රණය සිදු කරන්නේ. ඡායාරූපය-සුදත් මලවීර
Be First to Comment