ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා පෙරේදා (10) ලබාදුන් තීන්දුවට විරෝධය පළ කරමින් විපක්‍ෂය විසින් සභා ගර්භය තුළ දිගින් දිගටම කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් සභාවේ උණුසුම් වාතාවරණයක් නිර්මාණය විය.
ඒ අනුව සභාවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (11) කටයුතු කළේය.
පාර්ලිමේන්තුව ඊයේ (11) පෙරවරු 9.30ට පමණ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර කථානායකවරයා විසින් දිනට නියමිත කටයුතු යටතේ නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසුව පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නේය. පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දැක්වූ අතර මේ සම්බන්ධයෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ද සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම මේ පිළිබඳව අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට අදාළව කථානායකවරයාට ලබාදුන් නීති උපදෙස්, ලේකම් මණ්ඩලයේ උපදෙස් ඇතුළු අනෙකුත් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියහ.
විශ්වාසභංගය විවාදයට ගත හැකි බවට විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු ඊයේ උදේ වරුවේ විවිධ තර්ක මතු කළ අතර ඒ සම්බන්ධයෙන් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා ද මැදිහත්ව කරන ලද ප්‍රකාශය නිසා තත්ත්වය තවදුරටත් උණුසුම් විය. එහිදී විපක්ෂ මන්ත්‍රීවරු සභාවේ මැදට පැමිණ කෑකෝ ගසන්නට වූහ.
“දියව්.. දියව්.. වාර්තාව දියව්.. විවාදය දියව්” යනාදී පාඨ ඇතුළු විවිධ දේ කියමින් සෙංකෝලය අසලටම පැමිණ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත දොස් පවරද්දී පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ලේකම් මණ්ඩලය කථානායකවරයා එක්ව යමක් සාකච්ඡා කරන අයුරු ද දක්නට ලැබිණි.
ඒ අතරතුර නැඟී සිටි සභානායක බිමල් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට උත්සාහ කිරීමත් සමඟම නැඟී සිටි විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනකු සභානායකවරයාගේ අදහස් දැක්වීමට බාධා කිරීම මෙම උණුසුම් තත්ත්වයට එක් හේතුවක් විය. ඒ සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්භය මැදට විත් මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වීම හේතුවෙන් ඇතිවූ උණුසුම් තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා සභාව විනාඩි 10ක් සඳහා කල් තැබීමට කථානායකවරයා පෙරවරු 9.55ට පමණ කටයුතු කළේය.
කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තබා සිය අසුනෙන් පිටව ගිය අතර ඉන් අනතුරුව ද විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැද විරෝධතාවක නිරත වූ අතර පෙරවරු 10.10ට පමණ පාර්ලිමේන්තුව නැවත කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එම අවස්ථාවේදී ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අදාළ කරුණ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දක්වන්නට වූ අතර සභාව පාලනය කරගැනීම සඳහා කථානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය. විරෝධතා, බාධා කිරීම් අතරතුරම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සිය අදහස් දැක්වූ අතර සභානායකවරයා ද සිය අදහස් ඉදිරිපත් කළේය.
ඒ අතරතුර සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විපක්ෂයේ මන්ත්‍රීවරු ඉලක්ක කරගනිමින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් එම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා ලෙස විපක්ෂය නැවත විරෝධය දක්වන්නට වූහ. ඒ අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරු සභාව මැදට විත් විරෝධය දක්වන්නට වූහ.
ඉන් අනතුරුව කථානායකවරයා කියා සිටියේ, හැන්සාඩ් වාර්තාවෙන් එම වචනය ඉවත් කිරීමට කටයුතු කරන බවයි. විනාඩි කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැද පැවැති විරුද්ධ පක්ෂයේ උද්ඝෝෂණයට දයාසිරි ජයසේකර, ගයන්ත කරුණාතිලක, හෙක්ටර් අප්පුහාමි, රාමනාදන් අර්චුනා, කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන්,හර්ෂණ රාජකරුණා, අජිත් පී. පෙරේරා, කින්ස් නෙල්සන්, රෝහණ බණ්ඩාර, නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, චමින්ද්‍රාණි කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙලෙස විරෝධතාවෙහි නිරත වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මහතා,
“අප විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ඔබතුමා ප්‍රතික්ෂේප කළා. ඒ සඳහා හේතු වූ නීතිපති සහ ලේකම් මණ්ඩලය විසින් ලබා දුන් වාර්තා සභාගත කරන්න කියා අපි කථානායකතුමාගෙන් ඉල්ලුවා.
ඔබතුමා අතනින් මෙතනින් උපුටගෙන මේ තීන්දුව ප්‍රකාශයට පත් කළා කිව්වා. ඒත් ඒක නිශ්චිතව පෙන්නලා දුන්නේ නෑ. කථානායකවරු ගණනාවක්, ආණ්ඩු ගණනාවක් විශ්වාසභංගවලට මුහුණ දීපු ආකාරය අපි දැක්කා. නමුත් පළමු වතාවට ඔබ විශ්වාසභංග යෝජනාවක් ප්‍රතික්ෂේප කළා. 159ක් තියාගෙන ඊට මුහුණ දෙන්න බැරි මොකද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. අපි නැවත නැවත ඉල්ලනවා කථානායක තනතුරේ මේ උත්තරීතර සභාවේ මූලාසනයේ ගෞරවය රැකෙන පරිදි කරුණාකරලා මේ වාර්තා දෙකම අපට අදම සභාගත කරන්න කියලා.”
කථානායකවරයා,
“ඒ වාර්තා දෙකම පරිශීලනය කරලා තමයි මගේ සංක්ෂිප්ත වාර්තාව ලබා දුන්නේ.”
විපක්ෂ නායකවරයා,
“ඔබතුමා ඊයේ ලබා දුන්නු තීන්දුව ගැන නැවත නැවතත් කරුණු ඉදිරිපත් කරන්න තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වගන්තියට අනුව නියෝජ්‍ය ඇමැතිවරුන් කියන්නේ විධායකයේ කොටසක්. මේ සභාවේ කැබිනට් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා උත්තර ලබා දෙනවා. මේ විවාදය පාස්කු ප්‍රහාරයේ සත්‍යය සහ නිවැරදි තොරතුරු, මහමොළකරු කවුද? කියා සොයා බැලීමට තුඩු දෙන විවාදයක් මේක. අඩුම තරමේ ඔබතුමන්ලා අපට සාධාරණත්වයක් ඉටු කරන්නේ නැති නම්, පාස්තු ප්‍රහාරයේ වින්දිතය පවුල් වෙනුවෙන්වත් මේ විවාදය ලබා දෙන්න.”
කථානායකවරයා,
“46 (1) වගේම (2) ත් කියවන්න.”
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා,
“ ඔබ ඊයේ ලබා දුන් තීන්දුවේ කිසිම තර්කයක් නෑ. ඒක පොඩි ළමයකුගේ රචනාවක් වගෙයි. මෙයට දුන්නු නීතිපති වාර්තාව සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරනවා ද? ඔබට තනි මතයක් නෑ. පාර්ලිමේන්තු මතය තිබෙන්නේ. මෙහි පාරදෘෂ්‍යභාවය රකින්න නීතිපති මොනවා ද කිව්වේ? කියලා දැනගන්න කැමතියි. එහෙම කරන්නේ නැති නම්, අපට ඔබ ගැනත් විශ්වාසය නැති වෙනවා. ඔබ සාධාරණභාවය පෙන්නන්න ඕනෑ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා,
“කාටද විශ්වාසභංගයක් ගේන්න පුළුවන් කාටද බැහැ කියලා ස්ථාවර නියෝගවල සඳහන් වෙන්නේ නෑ. මේ නියෝජ්‍ය ඇමැතිවරයා තමයි අපි අහන ප්‍රශ්නවලට මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති වෙනුවෙන් උත්තර දෙන්නේ. ජනාධිපති විදේශ සංචාරවලට යන විට ඔහු වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා බවට පත් වෙනවා. ඔහු විධායකයේ කොටසක් බවට පත්වී තිබෙනවා. නියෝජ්‍ය ඇමැතිවරයෙක්ට ලැබෙන වරප්‍රසාද ඔහු භුක්ති විඳිනවා. අපි මේ ගේන විශ්වාසභංගය ජයග්‍රහණය කළා කියා ඔහුගේ තනතුර අහෝසි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. මෙතන තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. කථානායකතුමාත් දේශපාලන තීන්දුවක් ගත්තේ මෙය අපට නොදී සිටින්න.”
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,
“නියෝජ්‍ය ඇමැතිවරයෙක් කියන්නේ විධායකයේ කොටසක්. ඔහුට නීත්‍යනුකූලව ගැසට් පත්‍රයකින් ආයතන පවරා නොදුන්නත් ඔහු මේ සභාවේ වාචික පිළිතුරු අහන වටයේදී උත්තර දෙනවා. ආරක්ෂක ඇමැති ජනාධිපති ගාවට ඉන්නේ මේ නියෝජ්‍ය ඇමැතිවරයා. ඒ නිසා මේක ගේන්න කිසිම නීතිමය බාධාවක් නෑ පාර්ලිමේන්තුව ඇතුළේ. ඔබ ඉතා නරක පූර්වාදර්ශයක් දී තිබෙන්නේ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා,
“අපිට ඕනෑ තරම් උදාහරණ තිබෙනවා වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට විශ්වාසභංග ගෙනාපු අවස්ථා. මේ නියෝජ්‍ය ඇමැතිතුමාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුවට පුළුවන් මේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ඉවත් කර වෙන කෙනෙක් පත් කරන්න.”
කථානායකවරයා,
“ඔබතුමන්ලාට වෙන විකල්ප තිබෙනවා. විශ්වාසභංග නැතුව ගේන්න. ලේකම් මණ්ඩලය දීපු වාර්තාවත් ඕක තමයි. ඒක පාදක කරගෙනයි මම තීන්දුව දුන්නේ. ඒක ඔබට දෙන්න මම බැඳී නැහැ. (විපක්ෂයේ ඝෝෂා) පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබනවා.” (කථානායක අසුනින් නැඟිට යයි)
සභානායක බිමල් රත්නායක මහතා,
“විශ්වාසභංගයක් නොවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුළේ අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් ගේන්න පුළුවන් ඒ නිසා විශ්වාසභංගයක් ගෙනත් ඒක ඇණගෙන පාර්ලිමේන්තු කාලය කා දමන එක අපරාධයක්. එළියේ තුන්සීයක් පන්සීයක් එකතු කරගන්න බැරිව මේ අය කරන දේශපාලනය ගැන අපට ප්‍රශ්නයකුත් නෑ.
මේ අය මෙතන කරන්නේ ජන වරම දන්නේ නැති පොහොට්ටු දේශපාලනයයි. මේ විශ්වාසභංග යෝජනාව බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ගෙන් පරද්දන්න පුළුවන්. මේ මොන ළපයි සිපයි ද? අපගේ නිහතමානීකම, අපේ විනයගරුක භාවය අපට අසාධාරණයක් වෙන්න බෑ. කථානායකතුමා සභාව කරගෙන යන්න ඉදිරියට.”
කථානායකවරයා,
“දවල් දොළහට පක්ෂ නායක හමුව තිබෙනවා. එතනදී කතා කරමු.”
ගයන්ත කරුණාතිලක මහතා,
“විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ළපයි සිපයි කිව්වා. එය හැන්සාඩ් එකෙන් ඉවත් කරගන්න. ඉල්ලා අස්කරගන්න කියන්න.”
සභානායකවරයා,
“එහෙනම් විපක්ෂයේ මන්ත්‍රීවරු මේ සභාව මැද්දට ඇවිත් අපට කරපු අපහාසවලට සමාව ගන්න ඕනෑ. ඒ ගැන පරීක්ෂණයක් කරන්න. මේ තක්කඩි දේශපාලනයක් කරන්නේ. ”
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා,
“ළපයා සිපයා කිව්වේ කාටද? කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ළපයා කිව්වේ ජනාධිපතිතුමාට සිපයා කිව්වේ අපට. මේක අයින් කරගන්න කියන්න.“
(කථානායකවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විමසන ප්‍රශ්න වටය අරඹයි)
නලින් බණ්ඩාර මහතා,
ප්‍රශ්නය අහනවාද….. අහන්නේ නෑ කියලා පැහැදිලියි.
කථානායකවරයා,
“පාර්ලිමේන්තුව හෑල්ලුවට පත්කරන්න එපා. මන්ත්‍රීවරු භාවිත කළ නරක වචන මීට කලිනුත් මම ඉවත් කර තිබෙනවා. පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එහෙමයි.”
සභානායකවරයා,
“මේ අය ප්‍රශ්නය අහන්නේ නැතිනම්, අපි උත්තර දෙන්නේ නෑ. කථානායකතුමාට බෑ ප්‍රශ්නය අහනවා ද? කියා දහවතාවක් විතර අහන්න. කරුණාකරලා ඉස්සරහට යන්න.“
(වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විමසන ප්‍රශ්න වටය ඇරඹූ පසු ද දැඩි ඝෝෂාවක් පැවැතිණි. විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රශ්න අසනවා වෙනුවට වෙනත් දේ කියන්නට ගනී.) කථානායක විසින් විපක්ෂ ඝෝෂා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට කරගෙන යෑමට කටයුතු කළේය.
Be First to Comment