Press "Enter" to skip to content

මනම්පේරිගේ ඉඩමේ තිබුණේ අයිස් හදන රසායනික සාම්පල 20න් 17ක්ම තහවුරුයි

ඉන්දු­නී­සි­යාවේ සිට රැගෙන ආ පාතාල අප­රා­ධ­ක­රු­වන් අතර සිටි බැකෝ සමන් විසින් හෙළි කළ තොර­තුරු අනුව සම්පත් මනම්පේරිගේ පියාට අයත් මිද්දෙ­ණිය ඉඩ­මක වළ දමා තිබි­යදී බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් සොයා ගත් සුදු පැහැති කැට විශේ­ෂ­යෙන් අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ල­යෙන් පරීක්ෂා කළ සාම්පල 20න් 17කම මෙතැ­ම්පි­ට­මින් (අයිස්) නමැති රසායනිකය ඇතැයි අනා­ව­ර­ණය වී තිබේ.

අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලය විසින් එම වාර්තාව පසු­ගිය සිකු­රාදා බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ස­යට දී ඇතැයි තමාට දැන­ග­න්නට ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක, සහ­කාර පොලිස් අධි­කාරී, නීති­වේදී උද­ය­කු­මාර වුට්ලර් මහතා පැව­සීය.

මේ කැට විශේ­ෂය සොයා ගත් අව­ස්ථා­වේදී අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලයේ නිල­ධා­රීන් ද එහි පැමිණ පරීක්ෂා කිරීම් සිදු කළ අතර, එහිදී ඔවුන් පැව­සුවේ ගත් සාම්පල 20න් 05ක මෙතැ­ම්පි­ට­මින් (අයිස්) ඇති බවයි. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා මාධ්‍ය සාක­ච්ඡා­වක් ද පව­ත්ව­මින් අනා­ව­ර­ණය කළේය.

අන­තු­රුව එම නිල­ධා­රීන් රසා­ය­නා­ගාර පරී­ක්ෂා­වක් සිදු කර මේ වාර්තාව දී ඇතැයි පොලී­සිය සඳ­හන් කළේය.

කන්ටේ­නර් දෙක­කින් ඉරා­නයේ සිට රැගෙන ආ මේ සුදු පැහැති කැට විශේ­ෂය වරා­යෙන් නිද­හස් කිරී­මට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය සහ රේගු නිල­ධා­රීන් එහි ඇති ද්‍රව්‍ය බිමට හලා වෙනම පරී­ක්ෂා­වක් ද සිදු කර තිබේ. එසේ පරීක්ෂා කිරී­මට මුල්වී ඇත්තේ එම කන්ටේ­නර් දෙකේ අංක ද සහි­තව එහි මත්ද්‍රව්‍ය අඩංගු බවට විදේ­ශීය බුද්ධි තොර­තු­රක් ලැබී තිබී­මයි. ඒ නිසාම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යත්, රේගු­වත් මේ සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කිරීම් සිදු කර ඇති බවත්, ඔවුන් ද මෙහි මත්ද්‍රව්‍ය තිබේ දැයි උප­ක­රණ මඟින් පරීක්ෂා කර ඇති බවත් පොලිස් සහ රේගු තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

කන්ටේ­නර් දෙක මුදා හැර ඇත්තේ එම පරී­ක්ෂා­වෙන් අන­තු­රුව පසු­ගිය ජන­වාරි 27 වැනි­දාය. මිද්දෙ­ණි­යට රැගෙන ගොස් ඇති එම කන්ටේ­නර් දෙක භාරදී ඇතැයි පැව­සෙන්නේ මේ වන විට සැඟව සිටින ශ්‍රී ලංකා පොදු පෙර­මුණේ අඟු­ණු­කො­ළ­පැ­ලැස්ස ප්‍රාදේ­ශීය සභා­වට තරග කළ අපේ­ක්ෂ­කයා වන සම්පත් මන­ම්පේරි නමැති අය සහ ඔහුගේ සහෝ­ද­රයා විසිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ හිටපු ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­ර­යෙක් වූ ඔහු මේ වන විට සිටින්නේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨාස භාරයේ රැඳ­වුම් නියෝග මතයි.

මේ කන්ටේ­නර් දෙකේ සුදු පැහැති ද්‍රව්‍ය තිබී ඇත්තේ විශාල උර 40ක දමාය. එම උර­ව­ලින් 06ක් ට්‍රක් රථ­යක පටවා නුව­ර­එ­ළි­යට රැගෙන ගිය බවත්, පසුව එම ද්‍රව්‍ය නුව­ර­එ­ළියේ සිට කඳානේ නිවෙ­ස­කට පසු­ගිය අගෝස්තු මාස­යේදී රැගෙන ආ බව අනා­ව­ර­ණය වී ඇත. කඳානේ නිවෙස අගෝස්තු මාස­යේදී මට්ට­ක්කු­ලියේ පදිංචි පුද්ග­ල­යෙක් විසින් කුලි­යට ගෙන සිය බිරිය හා දරුවා සමඟ පදිං­චිව සිට සැප්තැ­ම්බර් මස 05 වැනිදා නිවෙස් හිමි­යාට යතුර භාරදී අතු­රු­දන්ව ඇත්තේ සුදු පැහැති කැට ගෙමි­දුලේ මල් පාත්ති තුළ දමාය.

ඒ අතර සුදු පැහැති කුඩු අසල වෙල්යා­යක දමා තිබී ඇත. පොලී­සිය එම කැටත්, සුදු කුඩු විශේ­ෂ­යත් සිය භාර­යට ගත්ත ද ඒවා අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලය විසින් පරීක්ෂා කළ බවක් අනා­ව­ර­ණය වන්නේ නැත. එම කැට සහ කුඩු විශේ­ෂය රජයේ රස පරී­ක්ෂක වෙත පරී­ක්ෂණ කට­යුතු සඳහා යැවී­මට කැල­ණිය කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් පිය­වර ගෙන ඇත. මිද්දෙ­ණි­යෙන් සොයා ගත් සුදු පැහැති කැට සහ කුඩු­වල සාම්පල තංගල්ල කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් විසින් ලබා­ගෙන තිබේ. ඒවා ද රජයේ රස පරී­ක්ෂක වෙත යොමු කර ඇත. මේ සාම්ප­ල­වල වාර්තා මෙතෙක් ලැබී නැත. එහි වාර්තා ලැබුණු පසු මේ සුදු පැහැති කැට සහ කුඩු විශේ­ෂය කුම­ක්දැයි පැහැ­දි­ලි­වම අනා­ව­ර­ණය වනු ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

මේ ද්‍රව්‍ය අඩංගු කන්ටේ­නර් දෙක කොළඹ වරා­යෙන් නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ද පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇත. ඒ හැරුණු කොට ශ්‍රී ලංකා රේගුව ද විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ. එහි වාර්තාව ද මේ සතියේ නිකුත් වීමට නිය­මි­තව ඇත.

මිද්දෙ­ණි­යෙන් සොයා ගත් සුදු පැහැති කැට සහ කුඩු සම්බ­න්ධ­යෙන් වූ වැඩි­දුර විම­ර්ශන පොලි­ස්පති නිය­ම­යෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශ­යට භාර දී තිබේ. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය විසින් ඒ ගැන විම­ර්ශන මේ වන විට පව­ත්වනු ලබයි.

ගයාන් කුමාර වීර­සිංහ

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *