අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී මිද්දෙණිය ප්‍රදේශයේ දී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට ඊයේ (15) දැනුම් දුන්නේය. දන්නා සියලු දේ ප්‍රකාශ කිරීමට සූදානම් බව ද විමර්ශනවලට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට ඔහු සූදානම් බව ද එහි දී වැඩිදුරටත් දැනුම් දුන්නේය.
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින තමන්ව වධ හිංසාවන්ට හා හිරිහැරයන්ට භාජනය කිරීම වැළැක්වීමේ නියෝගයක් විමර්ශන නිලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා සම්පත් මනම්පේරි
විසින් නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙන ලදී.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටින බව එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවැසීය.
සිය සේවා දායකයාගේ සහෝදරයා වන පියල් මනම්පේරි මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන බව ද අත්අඩංගුවේදී ඔහු දැඩි වධ හිංසනයන්ට ලක් වී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
එසේම තම සේවා දායකයාගේ 78 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මේ වන විට ඇප මත මුදාහැර තිබෙන බව ද හෙතෙම සඳහන් කෙළේය.
තම සේවාදායකයා විමර්ශනවලට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට සූදානම් අතර නිසි මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව නීතිඥවරයා කීය.
එහෙත් අත්අඩංගුවට පත්වීමෙන් පසුව විමර්ශන නිලධාරීන් විසින් වධ හිංසාවන්ට භාජනය විය හැකි බවට ඔහු බියෙන් පසුවන බව ද නීතිඥවරයා කීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළ අතර ඒ පිළිබඳ තමන් යටතේ සිටින විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයාට නියම කෙරිණ.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 16 වන දා කැඳවීමටද නියම විය.
බස්නාහිර පළාත උතුර විමර්ශන කොට්ඨසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ පොලිස්පතිවරයාමෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටිති.
නෙල්කා මැදගෙදර
Be First to Comment