රිය අනතුරකින් මැරුණා කිව්වත් වසීම් තාජුඩීන්ගේ සිරුර තිබුණේ රියැදුරු අසුනේ නොවේ යැයි ඔහුගේ මාමා කෙනකු වන ෆයාස් ලතීෆ් මහතා පැවසුවේය. ආණ්ඩු තුනක් බලයට පත් වුවත් අවුරුදු 13ක් ගතව ඇතත් තාජුඩීන්ගේ ඝාතනයට සාධාරණයක් ඉටුව නැතැයි ද හෙතෙම කීවේය. ඒ මහතා මේ බව පැවසුවේ කසුන් පුස්සවෙල විසින් රචිත ‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. පසුගියදා (28) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී මෙය එළිදැක්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ෆයාස් ලතීෆ් මහතා,
වසීම් තාජුඩීන්ගේ අම්මා මගේ ලොකු අක්කා. ලොකු අක්කාගේ පුතා තමයි වසීම්. ඔය සිද්ධිය වුණේ 2012 මැයි මාසේ 17 වෙනිදා. එදින පාන්දර වගේ මගේ කොළඹ ඉන්න සහෝදරයා මට දුරකතන ඇමතුමක් දෙනවා. එතකොට මම නිදි. දුරකතන ඇමතුම මගේ මොබයිල් එකේ බැලුවම චූටිනානා කියලා තිබුණේ. මම ආන්සර් කළා. එයා කිව්වා මල්ලී, වසීම්ගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා. ඔයා එන්න ටක් ගාලා කොළඹ කියලා. එතකොට මම ලෑස්ති වෙලා මගේ යාළුවෙක්ගේ වාහනයක් අරන් මමයි, මගේ පවුලයි, අම්මා ඔක්කොමලා එදා රෑම ආවා. මඟ එනකොට ආයෙත් අයියා කිව්වා, වසීම් නැති වෙලා කියලා. ඒක අපිට හිතාගන්න බැහැ. දරාගන්න බැරි වේදනාවක්. මම එහෙම ඇවිල්ලා මාව පවුලේ කට්ටිය ඔක්කොම අක්කලාගේ ගෙදර බස්සලා කෙළින්ම ගියේ අනතුර සිදුවෙච්ච ස්ථානයට. ඒක තිබුණේ පාක් රෝඩ් එකේ. වසීම්ගෙ විට්ස් කාර් එක. ඒ ඇක්සිඩන්ට් එක බැලුවම පුදුමයි. මෙවැනි රිය අනතුරකින් මෙවැනි ජීවිතයක් නැති වෙනවද කියන එක. කාර් එක ගිනි අරන් තියෙනවා. කානුවට පෙරළිලා. මාධ්‍යවල ඔක්කොම පින්තූර තිබුණා ඒකේ. පොඩි ඩැමේජ් එකක් තමයි කාර් එකේ තිබුණේ. ඉස්සරහා ටේලයිට් එක, ඉස්සරහා ලයිට් එකත් එක්ක බෆර් එක පොඩ්ඩක් ඇතුළට වෙලා තමයි තිබුණේ. මට ඒක ප්‍රහේලිකාවක්. එතන වාහනය ඇතුළේ තමයි පුතාගේ මරණය තිබුණේ. මරණය තිබුණේ රියැදුරු අසුනේ නෙවෙයි, අනිත් පැත්තේ. මම කාර් එකේ දොර කඩලා, මමත් මගේ සහෝදරයා සහ මගේ යාළුවො දෙන්නකුත් තමයි මරණය අරන් ඇම්බියුලන්ස් එකෙන් පටවලා මෘත ශරීරාගාරයට යැව්වේ. ඊට පස්සේ අපිට මරණය රිලීස් කරනකොට හවස පහමාර විතර වුණා. ඒ වෙලාවේ හිටියේ ආනන්ද සමරසේකර අධිකරණ වෛද්‍ය නිලධාරියා හැටියට. වසීම්ගේ අක්කත් වෛද්‍යවරයෙක්, දන්ත වෛද්‍යවරයෙක්. ආයිෂා තාජුඩීන්. එයත් මූලික වෙලා මේ ඔක්කොම කටයුතු කරලා මරණය එවනවා.
මම මරණය ගෙදරට ගෙනිච්‌ෙච නැහැ. අපේ තියෙනවා මුස්ලිම් ආගමානුකූලව මෘත ශරීරාගාරයක්. මරණයක්, කරනකොට අනිවාර්යයෙන් කළ යුතු කාරණා හතරක්. එකක් මරණය සෝදන්න ඕනේ. එකක් මරණය අන්දවන්න ඕනේ සුදු රෙදි කෑල්ලකින්, සුදු කපු රෙද්දෙන් වසලා, පල්ලියේ යාඥා කරලා භූමදානය කරන්න ඕනේ.
මම මරණය ගෙනිච්චා අපේ පවුලේ උදවියට කතා කරලා දෙහිවල පල්ලියට. ඒකට වෙනම ස්ථානයක් තියෙනවා. එතැන දී මේ සියලු කටයුතු කරන්න කියලා. නමුත් ඒ මරණය සෝදන්න බැහැ. එතකොට අපේ ආගමානුකූලව තියෙන විකල්ප ක්‍රමයක්. ඒක කරන්න, කළ යුතු දේ කොහොමද කියලා. ඒ විදිහට කරලා සුදු රෙද්දෙන් ඔතලා කරනකොට මට හිතුණා සුදු රෙද්දෙන් ඔතලා මරණය මම කොහොමද ගෙදර ගෙනියන්නේ කියලා. ගෙදර ගෙනියන්න බැරි තත්ත්වයක් වගේ තමයි පෙනුණේ. ඒ වෙලාවේ මට අදහසක් ආවා සුදු ඉටි කොළයකින් ඔතන්න. මම අයියට ගිහිල්ලා කිව්වා අයියේ මට සුදු ඉටි කොළ මීටර් හයක් විතර ගේන්න කියලා. මම ඒක ඇතුළේ ආපහු සුදු රෙද්දෙන් ඔතලා, ආපහු කපු රෙද්දෙන් ඔතලා තමයි ගෙදරට මරණය ගෙනිහිල්ලා පවුලේ කට්ටියට මූණ පෙන්නුවේ නැහැ, ආපහු ගෙනැල්ලා අපි භූමිදානය කළේ දෙහිවල පල්ලියේ. ඊට පස්සේ මරණ පරීක්ෂණ වාර්තාවේ තිබුණේ. බීමත්කමින් අධික වේගයෙන් රිය පදවලා අනතුරක් වෙලා ගිනි අරගෙන ඒකෙ තිබිච්ච විස දුම ආඝ්‍රාණය වෙලා පුතා නැති වෙලා කියලා.
බීමත්කමින් අධික වේගයෙන් ගියා නම් ඒ කාර් එකේ ඇක්සිඩන්ට් එක මීට වැඩිය වෙනස් වෙන්න ඕනේ. ඉතින් අපිට ඒක දරාගන්න බැරි වේදනාවක්. අපිට මේක හිතාගන්නත් බැරුව තමයි තිබ්බේ. යහපාලන ආණ්ඩුව එනකොට වසීම් තාජුඩීන්ගේ ඝාතනය හැම වේදිකාවෙම ප්‍රසිද්ධ මාතෘකාවක් වුණා. වසීම්ව මරපු විදිය, ඝාතනය කරපු විදිය, එක එක දේශපාලනඥයෝ ඒ වේදිකාවල කතා කරා. අපේ මිනිස්සු 90%ක් ඡන්දය දුන්නා. ඡන්දය දීලා යහපාලන ආණ්ඩුව අපි පත් කළා. යහපාලන ආණ්ඩුවේ යම්කිසි ප්‍රගතියක් තිබුණා .ඒ යනකොට තමයි අපෙන් ඇහුවා ආපහු මේ මරණය ගොඩ අරන් පරීක්ෂණයක් කරන්න, පවුලෙන් ඇහුවහම, අපි අවසරය දුන්නා. එදා මම සුදු ඉටි කොළෙන් මරණය ඔතපු නිසා ලොකු රුකුලක් වුණා ඒ මරණ පරීක්ෂණ වාර්තාවට. ඒ සඳහා උසාවිය නියෝජනය කළේ අධිකරණ වෛද්‍ය නිලධාරි කණ්ඩායමක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හත් දෙනෙක් මට මතක ඇති හැටියට මරණ පරීක්ෂණ වාර්තාව හැදුවා. අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව දුන්නා බීමත්කමින්වත්, විස ආඝ්රාණයකින්වත් නොවෙයි, දස වධ දීලා මේ දරුවාව මරලා කියලා, මරලා පුච්චලා කියලා.
ඇයි මෙහෙම කරන්නේ? එයා ක්‍රීඩකයෙක් නිසාද? දස වධ දෙන්න එක්කෝ දරුවා කරපු වරද මොකක්ද? ක්‍රීඩාවද? මට තේරෙන්නේ නැහැ මොකක්ද කියලා, එක සැරේකින් වෙඩි තියලා මරණවානම් වෙන දෙයක්, ඒක වේදනාවයි. දස වධ දීලා තමයි දරුවාව මැරුවේ. ඒක අදටත් අපිට උහුල ගන්න බැහැ, දරාගන්න බැහැ. මම අදටත් ඉන්නේ මානසික පීඩනයකින්. අපිට කිසිම ආණ්ඩුවකින් මේකට විසඳුමක් ලැබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා. 2015 දී යම් ප්‍රගතියක් ආවා. නමුත් අපිට අද වෙනතුරු වසීම්ගේ මරණය වෙනුවෙන් අපිට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. ඒ ඇයිද කියන එක හරි ප්‍රහේලිකාවක්. මේ සමහර මහත්වරුන් අදහස් දැක්වූවා වගේම, රාජ්‍යය ඇතුළේ යම් යම් ස්වාධීනත්වයක් නැති නිසාද කියන එක. මෙහෙම වෙන්න බැහැ. නමුත් අපි ඇස් දෙකෙන් දකිනවා, මේකට සම්බන්ධයි කියලා එළියේ කතා වෙච්ච උදවියගේ නම්, ස්වභාවධර්මයා විසින් දඬුවම් දෙමින් ඉන්නවා. ඒක කිසි කෙනෙකුට නවත්වන්න බැහැ. ස්වභාව ධර්මයා විසින් ඒ දඬුවම් ලබා දෙමින් ඉන්නවා. අපිත් අපේ ආගමානුකූලව අපි අල්ලා දෙවියන් වහන්සේට භාර දීලා තියෙනවා. මේකට මේ කරපු අපරාධයට දඬුවම් දෙන්න කියලා. දඬුවම් දිය යුතුයි. අපිට අධිකරණය ගැන පූර්ණ විශ්වාසයක් තියෙනවා. වත්මන් රජයවත් පමා වෙලාහරි 2012 මැයි 17 වෙච්ච සිදුවීම අද 2025 සැප්තැම්බර් 27 වෙනි දින. එතකොට අවුරුදු 13ක් විතර දැන් ගිහිල්ලා තියෙනවා. ඒ අවුරුදු 13ට පස්සේ හරි මේ නඩුව ආපහු අරගෙන මේකේ කරපු වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා. මේ රජයවත් මේක කළේ නැත්නම් අපිට ඉතින් ආයෙත් කිසිම බලාපොරොත්තුවක් නැහැ මේක කරයි කියලා. රජයන් තුන හතරක් යටතේ මේ නඩුව තිබුණා. නමුත් අද වෙනකන් මේකට යුක්තියක් නැහැ.
ජගත් විජේසූරිය
කෝට්ටේ සමූහ
Be First to Comment