ළමා හිංසනය වැළැක්වීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත දැනට පවතින ස්වරූපයෙන්ම සම්මත වුවහොත්, පාසල් විනය පාලනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.
මෙම තත්ත්වය හමුවේ පාසල් තුළ ශිෂ්‍ය විනය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පෙන්වා දුන්නේ, යෝජිත පනත සම්මත වීමෙන් පසු පාසල් දරුවන්ගේ අවිධිමත් හැසිරීම් හේතුවෙන් ගුරු-විදුහල්පති ප්‍රජාව අසීරුතාවයන්ට පත්වන පසුබිමක් නිර්මාණය විය හැකි බැවින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වහා අවධානය ඒ වෙත යොමු විය යුතු බවයි.
විශේෂයෙන්ම, කොණ්ඩය විවිධ වර්ණ ගැන්වීම, පිරිමි සිසුන් කරාබු පැලඳීම සහ සිසුවියන් නහය විදීම වැනි විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව මෙම චක්‍රලේඛය මගින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කළ යුතු බව මුදුන්කොටුව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
පාසල සතු සම්මත විනය නීති පද්ධතිය එම පාසලේම අනන්‍ය වූ උප සංස්කෘතියක් බව පෙන්වා දුන් ප්‍රධාන ලේකම්වරයා, මෙම නව නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ එම සම්මතයන් සියල්ල බිඳ වැටී සිසුන්ට අසීමිත නිදහසක් හිමිවීමේ අවදානමක් පවතින බවද සඳහන් කළේය.
මෙහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට අවනත නොවන විපරීත සමාජයක් බිහිවීම බවත්, එය ආණ්ඩුව අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් වනු ඇති බවත් නිමල් මුදුන්කොටුව මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Be First to Comment