Press "Enter" to skip to content

සිල් ගන්න ගිය කාන්තාවෝ තිදෙනෙක් මරුට

ගම්පොළ නාරං­විට හරහා මහ­නු­වර මාර්ගයේ දොළුව විහා­ර­ස්ථා­නය අසල සිදුවූ දරුණු රිය අන­තු­ර­කින් තිදෙ­නකු මිය ගොස් තුවාල ලැබූ දෙදෙ­නකු ගම්පොළ ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව පරී­ක්ෂණ පව­ත්වන ගම්පොළ පොලී­සිය පව­සයි.

ගම්පොළ නග­රය දෙස සිට ගුරු­කැළේ නිල්ලඹ දක්වා ගමන් ගත් මෝටර් රථ­යක් විහා­ර­ස්ථා­නය අසල සිටි කාන්තා­වන් පිරි­සක් යට කර­ගෙන නවතා තිබූ ලොරි රථ­යක ද ගැටීම නිසා මෙම අන­තුර සිදුව ඇති බව පොලී­සිය පව­සයි.

අන­තු­රින් මියගොස් ඇත්තේ දොළුව, මෙගොඩ කළු­ග­මුව පදිංචි රාම­නා­යක මුදි­ය­න්සේ­ලාගේ පොඩි මැණිකේ (70) දොළුව, නව­ගු­රු­කැළේ පදිංචි විජේ­සූ­රිය මුදි­ය­න්සේ­ලාගේ මාලිනි විජේ­සූ­රිය (67) ගම්පොළ ගුරු­කැලේ පදිංචි පල්ලෙ ගෙදර අනු­ලා­වතී (67) යන තිදෙ­­නායි.

සිද්ධි­යෙන් තුවාල ලබා රෝහ­ල්ගත කර ඇත්තේ ගම්පොළ, දොළුව ගුරු­කැළේ පදිංචි මල්වත්තේ ගෙදර ශ්‍රීමති (56) හා ගුරු­කැලේ, නිල්ලඹ පදිංචි මෝටර් රථයේ රියැ­දුරු වන වර්ණ කුල­සූ­රි­යගේ පත්මා නදීකා ප්‍රනාන්දු (38) යන අයයි.

රිය පැදවූ කාන්තාව ළඟ ඇත්තේ පුහුණු වන රිය බල­ප­ත්‍ර­යක් බව පොලී­සිය පව­සයි. මෙම කාන්තාව සැමියා හා ළම­යින් දෙදෙනා සමඟ ගම්පොළ නග­රයේ සිට පැමිණ ඇති අතර රියැ­දුරු බල­පත්‍ර ඇති සැමියා නග­රයේ සිට මාර්ගයේ මඟක් දක්වා මෝටර් රථය රැගෙන ආ බවත් ඉන්පසු ඔහු පුහුණු වන තම බිරි­යට එම මෝටර් රථය ලබා දී ඇති බවත් පරී­ක්ෂ­ණ­ව­ලින් අනා­ව­ර­ණය වූ බව පොලී­සිය සඳ­හන් කරයි.

විහා­ර­ස්ථා­නය අසල සිටි පිරිස දැක මෝටර් රථයේ වේගය අඩු කිරීම සඳහා තිරිංග පැඩ­ලය පෑගී­මේදී වැර­දී­ම­කින් ඇයට වේග ­පැ­ඩ­ලය පෑගී ඇති බව ද ප්‍රකාශ වේ.

ඒ සම­ඟම වේග­යෙන් ඇදී ගිය මෝටර් රථය මෙම පිරිස යට කර­ග­නි­මින් නවතා තිබූ ලොරි රථයේ ගැටී තිබේ.

එම ලොරි රථය යළි මාර්ග­යට විසි වී ඇති අතර මෝටර් රථය ඒ අසල ඇති බැම්මක ගැටී නැවතී තිබේ.

මෝටර් රථයේ සිටි දරු දෙදෙ­නාට හෝ සැමි­යාට කිසිදු අන­තු­රක් සිදුවී නොමැති අතර මෝටර් රථ­යට හානි සිදුව තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *