සීනිමෝදරින් සොයාගත් රුපියල් කෝටි 1,000ක් පමණ වටිනා කිලෝ 705ක් බරැති මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍යවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා තංගල්ල පොලීසිය හමුවට ඊයේ (06) කැඳවා තිබුණ ද ඒ සඳහා ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබේ.
ඒ අනුව ලබන 12 වැනිදා පැමිණෙන ලෙස ඔහුට දැනුම් දුන් බව තංගල්ල පොලීසිය සඳහන් කළේය. තංගල්ල පොලීසියට ඊයේ (06) දින තමා කැඳවා තිබුණ ද, එදින යා නොහැකි හෙයින් වෙනත් දිනයක් එම පොලීසියෙන් ඉල්ලා සිටි බව විමල් වීරවංශ මහතා පැවසීය.
තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීම පෙරේදා (05) විමල් වීරවංශ මහතා පදිංචිව සිටින හෝකන්දර දකුණ, මංගල මාවතේ පිහිටි නිෙවසේ රැඳී සිටි කාන්තාවට හෝකන්දර පොලීසිය විසින් භාරදී තිබිණි. එම දැනුම්දීමට අනුව විමල් වීරවංශ මහතා තංගල්ල පොලීසිය අමතා පවසා ඇත්තේ මෙම දැනුම්දීම ලැබුණේ 05 වැනිදා සවස් කාලයේදී බැවින් 06 වැනිදා තංගල්ලට පැමිණීම අපහසු බවය. ඒ අනුව වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහු පොලීසියෙන් ඉල්ලා සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
සීනිමෝදරදී සොයාගත් අයිස් හා හෙරොයින් කිලෝ 705 සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා නමැති අය අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ග ඔස්සේ ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇත්තේ ඔහු බවට තොරතුරු අනාවරණය වී තිබිණි. වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරු තංගල්ල පොලිස් ස්ථාන භාරයට පත්කර තිබිණි.
පොලිස් විමර්ශනවලින් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් හෙළි නොවූ තොරතුරු රැසක් විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි. පොලිස් විමර්ශනවලින් මෙතෙක් හෙළි වී නැති එම තොරතුරු සාක්ෂි සහිතව දැනගැනීමට විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බැවින් ඔහුව කැඳවනු ලැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
තංගල්ල – පද්මසිරි ගාර්දියවසම්
Be First to Comment