මෙරට තරුණ පරපුරේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
ඒ අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බව සඳහන්.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ HIV ආසාදිතයින් නිර්මාණය විය හැකි ප්‍රධාන ආකාර ත්‍රිත්වයක් පවතින බවයි.
1. HIV රෝගියෙක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම
2. අවිධිමත් ලෙස එන්නත් කටු භාවිතය
3. ආසාදිත ගර්භණී මවගෙන් දරුවාට HIV ආසාදනය වීමයි
ඒ අනුව අනාවරණ වන්නේ රුධිරය සහ ලිංගික ශ්‍රාව හරහා පැහැදිලිවම HIV රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවය.
ආසාදිතයන්ගේ වාර්තාවීම සැලකිල්ලට ගැනීමේදී 2021 වර්ෂයේදී මෙරටින් ආසාදිතයන් 411ක්, 2022 දී 607ක්, 2023 දී 697ක්, 2024 දී 824ක් සොයාගෙන තිබේ.
ඒ අතුරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ පුරුෂයන්ගෙන්. එය අනුපාතයක් ලෙස ගතහොත් 7:1කි.
ඒ අනුව ගතවූ ජනවාරි සිට මාර්තු දක්වා හඳුනාගත් නව ආසාදිතයන් ද ඇතුළුව මේ වනවිට මෙරට තුළ HIV ආසාදිතයන් 6,740ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
2024 වසරේදී නව HIV ආසාදිතයන් 824ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවට අනාවරණ වී තිබේ.
ඉන් 47 දෙනෙකුට දිවි අහිමි වී ඇත්තේ එය, AIDS තත්ත්වය දක්වා වර්ධනය වීමෙනි.
Be First to Comment