Press "Enter" to skip to content

ක්‍රිස්ටීන් අංජලී තමෙල් සැක්සෆෝන් වාදන අංශයේ සමස්ත ලංකා, පළාත්, සහ කලාප ප්‍රථම ස්ථාන දිනයි

හලා. වෙන්. ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වර්ණකුලසූරිය ක්‍රිස්ටීන් අංජලී තමෙල් සමස්ත ලංකා සංගීත තරඟාවලියේ සැක්සෆෝන් වාදන අංශයෙන් සමස්ත ලංකා, පළාත්, සහ කලාප ප්‍රථම ස්ථාන දිනා තිබේ.

කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ඇය මේ වන විට ගායන විශාරද විභාගය, Classical Guitar Trinity විභාගයේ අදියර තුනක්, සහ Saxaphone ABRSM විභාගය ඇතුළු සංගීත ක්ෂේත්‍රයට අදාළ විභාග ගණනාවක් සම්පූර්ණ කර ඇත.

ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපනය ලැබූ කාලයේ සමස්ත ලංකා සමූහ වාදන තරඟ අංශයෙන් ප්‍රථම, දෙවන, සහ තෙවන ස්ථාන දිනා ඇති ඇය 2018 වසරේ පටන් මේ දක්වා ජාතික මට්ටමේ තරඟාවලි ගණනාවකට ඉදිරිපත් වී ජයග්‍රහණ රැසක් ලබා තිබේ. 2024 වසරේදී ඒකල ගිටාර් වාදන අංශයේ තෙවන ස්ථානය සහ 2025 වසරේදී එකල ගී අනුවාදන සැක්සෆෝන් තරඟ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම ඒ අතරින් ප්‍රධාන වේ.

සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ පවුලකින් පැවැත එන ඇයගේ පියා වන අරුණ නිශාන්ත තමෙල් ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පියා ලෙසත්, වැඩිමහල් සොහොයුරා වන කෙවින් ඇන්ජලෝ තමෙල් සංගීත නිර්මාණ ශිල්පියෙක් ලෙසත් කටයුතු කරයි. නිල්වන් මුහුදු තීරේ ගීතයේ නව සංගීත සංයෝජනය සිදු කළ ඇන්ජලෝ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ගණනාවක් සඳහා ගීතනු නිර්මාණ දායකත්වය ලබා දී ඇත. අංජලීගේ බාල සොහොයුරා 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

“මා සහභාගී වූ තරඟාවලිවලදී සහාය වාදනයට දායක වූ ඩිනාරා, තරුෂි, ජෙනුෂි, නවීෂා, සහ වොසදි සොයුරියන්ටත්, ඒ සඳහා උපකාර කළ අනුෂා, ප්‍රියංකා, සහ ඩෙල්රින් ගුරුතුමියන්ටත්, ප්‍රභාත් සහ රවීන්ද්‍ර ගුරුතුමන්ලාටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට සෑම විටම ශක්තියක් වන දෙමාපියන්ටත්, පාසලේ විදුහල්පතිතුමියටත්, ගුරු මණ්ඩලයටත්, මිතුරු මිතුරියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරලා සෞන්දර්යය විශ්වවිද්‍යාලයට ඇතුල් වීම මගේ බලාපොරොත්තුවයි.” යනුවෙන් ඇය සඳහන් කළාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *