Press "Enter" to skip to content

ජනතාවට නාට්‍ය බලන්න යන්න සල්ලි නෑ… නිසා අපි නාට්‍ය නොමිලේ පෙන්නනවා…!

ලෝකයේ ධනයෙන් ප්‍රධාන තැනට පැමිණීම දුෂ්කර බවත්, එසේ වුවද, රටේ පරිසර පද්ධතිය, අලංකාරත්වය සහ පිහිටි තැන හේතුවෙන්, ශ්‍රී ලංකාවට ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටක් බවට පත්වීමේ හැකියාව ඇති බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පවසයි.

මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරන බව හෙතෙම සඳහන් කළේය.

මිනිසුන් අවුරුදු 50ක් හෝ 60ක් වැනි කෙටි කාලයක් ජීවත් වන බැවින්, මෙම ජීවිතය විඳවීමට නොව විඳීමට ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි. ආර්ථික ක්‍රියා මාර්ගය තුළින් මිනිසුන්ට හොඳින් තුන් වේලක් කාලා, හොඳට පාසල් ගොස්, සෞඛ්‍ය පහසුකම් ලබාගෙන, භෞතික පහසුකම් සපයන අතරේම අධ්‍යාත්මිකව සතුටුමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසිය යුතු බව ඔහුගේ අදහසයි.

ලෝකයේ ධනවත්ම රට නොවුණත්, සතුටින්ම මිනිසුන් සිටින රටක් බවට පත්වීමේ අරමුණක් සහ උත්සාහයක් ඇති බව ඇමතිවරයා අවධාරණය කළේය. මෙවැනි රටක මත්ද්‍රව්‍ය (මද්‍රව්‍ය), පාතාලය, සහ නීති දෙකක් තිබිය නොහැකි බවත්, නීතිය සැමට සමාන විය යුතු බවත් ඔහු පැවසීය.

ඇමති හේවගේ මහතා සමාජ ජීවිතයේ වැදගත්කම සහ වැඩ-විවේක සමතුලිතතාව පැහැදිලි කළේය. පැය 24ක දවසක් තුළ පැය අටක් වැඩ කිරීමටත්, පැය අටක් විවේක ගැනීමටත් අවශ්‍ය වන බව ඔහු පෙන්වා දුන්නේය. වැඩ කිරීමෙන් ශරීරය ක්ෂය වන බැවින්, එය වර්ධනය කර ගැනීමට විවේකය අත්‍යවශ්‍ය වේ. ඉතිරි පැය අට ජීවිතය ගත කිරීමට වෙන් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

ජීවත් වීම යනු දරුවන්, මව, පියා, බිරිඳ, පවුලේ අය සහ අවට මිනිසුන් සමඟ කාලය ගත කිරීමයි. තවද, පන්සල, පල්ලිය, කෝවිල, දහම් පාසල, ඉරිදා පාසල හා සම්බන්ධ වීම සහ ඥාතීන් ඇතුළු මානව සම්බන්ධතා පවත්වා ගැනීම මෙයට ඇතුළත් වේ. ඊට අමතරව පොත්පත් කියවීම, සංගීතය රස විඳීම, ගීත විචාරය කිරීම සහ නැටුම් නැටීම ද ජීවිතය බව ඔහු පෙන්වා දුන්නේය.

වර්තමානයේ බොහෝ අය පැය 10ක් හෝ 12ක් සේවය කරන බැවින්, ඔවුන්ට ජීවිතය අහිමි වී ඇති බව ඔහු සඳහන් කළේය. විදේශ රටවල් තාක්ෂණයෙන් දියුණු වී වැඩ කරන කාලය පැය 7, 6, හෝ 5 දක්වා අඩු කර විවේක කාලය වැඩි කරගෙන ඇති නමුත්, ශ්‍රී ලංකාවේ අප ජීවත් වන කාලය නැති කරගෙන ඇතැයි ඔහු පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ මෙම ව්‍යායාමය තුළින් නැති වූ ජීවිතය යළිත් මිනිසුන්ගේ පාමුලට ගෙන ඒමට උත්සාහ කරන බවයි. අනාගතයේදී වැඩ කරන කාලය අඩු කර, විවේක කාලය තුළ මානව සම්බන්ධතා, පොත්පත්, සංගීතය සහ චිත්‍රපට ආදිය සමඟ කාලය ගත කරන මනුෂ්‍යයෙකු නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.

කලා හා සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන

මෙම වැඩපිළිවෙළ යෝධ ආරම්භයක් වන අතර එය මෙතැනින් නතර නොවන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. වෙනසක් ඇති කිරීම සඳහා කලායතන සහ පාසල් දක්වා මෙය ගෙන ගොස් දරුවන්ගෙන් ආරම්භ කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සම්බන්ධ වී දරුවන් මෙයට සම්බන්ධ කරගෙන ඇත. ලංකාවේ සිටින හොඳම චිත්‍ර ශිල්පීන් විශාල ප්‍රමාණයක් ගාල්ලට ගෙනැවිත් චිත්‍ර ඇන්දවූ බව ඔහු පැවසීය. ලංකාවේ ප්‍රධානම ශිල්පීන්ගේ වේදිකා නාට්‍ය හයක් නොමිලේ පෙන්වන බව හෙතෙම සඳහන් කළේය.

මෙලෙස නොමිලේ නාට්‍ය පෙන්වීමට හේතු වන්නේ නාට්‍ය කලාවේ පවතින දුෂ්කරතාය. කොළඹ ශාලාවක් ගැනීමට රුපියල් ලක්ෂ 15, 20, 25ක් පමණ වැය වන බවත්, ඊට අමතරව ආදායම් බදු සහ විනෝද බදු ගෙවීමට සිදුවන බවත් ඔහු පැවසීය. විනෝද බද්ද 125%ක් තිබී දැන් 12% දක්වා අඩු කර ඇති බව ඔහු සඳහන් කළේය.

නාට්‍ය ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1000ක් වුවහොත් පස් දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 5000ක් වැය වන බැවින්, මිනිසුන් නාට්‍ය නැරඹීමට නොයන බවත්, එසේ නොවීමෙන් නාට්‍ය බිහි නොවන බවත්, නළු නිළියන් සහ ශිල්පීන් බිහි නොවන බවත් ඔහු පැහැදිලි කළේය. මාස 12ක් තුළ වේදිකා නාට්‍ය 12ක් නොමිලේ නගරවල පෙන්වීමට අදහස් කරන බව ද හෙතෙම කියා සිටියේය.

මීට අමතරව, චිත්‍රපට ප්‍රදර්ශනය කර විචාරයක් ද කළ බවත්, චිත්‍රපටියක් යනු කුමක්ද, එයින් දකින දේ කුමක්ද, සංගීතය සහ රූප කතා කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කළ බවත් ඇමතිවරයා පැවසීය.

හම්බන්තොට පැවති උත්සවයට දහස් ගණන් ජනතාව සම්බන්ධ වූ අතර, පැමිණි මිනිසුන් වෙනස් වූ, සමාජය ගැන සිතන, සහ සහකම්පනය සහිත මනුෂ්‍යයෙකු බවට පත්ව නැවත ගිය බවට තමන් විශ්වාස කරන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ වැඩිදුරටත් සඳහන් කළේය

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *