Press "Enter" to skip to content

“මිදිගම ලසා” ඝාතනයේ වෙඩික්කරු හඳුනා ගනී

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” ඝාතනය, දකුණේ පාතාල ක්‍රියාකාරකම් වල අඳුරු සෙවණැලි යළිත් කරළියට ගෙනවිත් තිබේ.

මෙම ඝාතනය, දකුණු පළාතේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත, යුද හමුදාවෙන් පළා ආ සෙබළෙකු ලවා සිදුකර ඇති බවට විමර්ශනවලින් මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

මෙම කුලී ඝාතකයා කවුරුන්ද යන්න පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඔහුව නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් දැනටමත් පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත.

ඝාතනය සිදුවන අවස්ථාවේ අසල තිබූ ආරක්ෂක කැමරා දර්ශන, මෙම අපරාධයේ සුලමුල සොයා යන විමර්ශකයන්ට තීරණාත්මක සාදකයක් වී ඇති අතර එම දර්ශන ඔස්සේ වෙඩික්කරුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකිවූ බව විමර්ශන අංශ පවසයි.

ඝාතනයෙන් පසු වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ අනෙක් පාතාල සාමාජිකයා පළා ගිය මාර්ගය සිතියම්ගත කිරීම සඳහා ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන රැසක් මේ වනවිටත් පොලිස් පරීක්ෂාවට ලක්වෙමින් පවතී. ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් පළාගොස්, අතරමගදී යතුරුපැදි දෙකකින් වෙන්වී ගිය බවට ලැබී ඇති තොරතුරක් ඔස්සේ ද වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.

මෙම අපරාධයේ ජාලය හෙළිකර ගැනීම සඳහා තාක්ෂණික සාක්ෂි කෙරෙහි ද පොලිසිය විශේෂ අවධානයක් යොමුකර තිබේ. ඝාතනය සිදුවූ අවස්ථාවේ එම ප්‍රදේශයේ හුවමාරු වූ දුරකථන ඇමතුම් පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තා ලබාගෙන ඇති අතර, එමගින් අපරාධයට සම්බන්ධ වූවන් සහ සැලසුම්කරුවන් හඳුනාගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව, සංවිධානාත්මක අපරාධ ලෝකයේ කුප්‍රකට චරිත වන “මිදිගම රුවන්”, “මිදිගම චූටි” සහ “හරක්කටා” ගේ සම්බන්ධයක් මෙම ඝාතනය පසුපස ඇති බවට ලැබී ඇති තොරතුරු ඔස්සේ ද විමර්ශන ක්‍රියාත්මකය.

විමර්ශනවලදී හෙළිවී ඇති තවත් සංවේදී කරුණක් නම්, ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමසේකර පසුගිය කාලය පුරාම දැඩි මරණ බියකින් පසුවී ඇති බවයි. මෙම නිරන්තර තර්ජන හේතුවෙන් ඔහු සිය පදිංචි ස්ථාන පවා නිතර වෙනස් කරමින්, අතිශය රහසිගත ජීවිතයක් ගත කිරීමට පෙළඹී තිබේ.

සිය ආරක්ෂාව වෙනුවෙන් පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත පෞද්ගලික ආරක්ෂක කණ්ඩායමක් රඳවාගෙන සිටියද, ඝාතනය සිදුවන මොහොතේ ඒ එකදු ආරක්ෂකයෙකුවත් ඔහු අසල නොසිටීම බරපතල සැකයක් මතුකරන කරුණක් වී ඇති අතර, ඒ පිළිබඳවද පොලිසියේ අවධානය දැඩිව යොමුවී තිබේ.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් මෙම සංකීර්ණ අපරාධයේ සුලමුල සෙවීමේ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *