Press "Enter" to skip to content

ශිරන්තිගේ සිරිලිය ගිණුම ගැන නියෝජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

වසා දමා හෝ යට ගසා තිබූ විමර්ශන 42ක් නැවත ඉහළට ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, නීති විරෝධී වත්කම් උපයා ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට රාජ්‍ය නිලධාරීන් 61ක් සහ දේශපාලකයින් 30ක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

යටගැසී තිබූ ප්‍රධාන විමර්ශන රැසක් මේ වන විට ඉදිරියට ගමන් කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එහිදී කියා සිටියා.

2020 – 2024 කාලය තුළ සිදුවූ බව කියන ගිං නිල්වලා, මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුම, ඛනිජ තෙල් සංස්ථාවේ වංචා සහ ග්‍රීක බැඳුම්කර ඇතුළු සිද්ධිවලට අදාළ විමර්ශන මේ වන විට විමර්ෂන සිදු කෙරෙමින් පවතින් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යටගසා තිබූ විමර්ශන පහක් එළියට ගෙන ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ලසන්ත වික්‍රමතුංග සහ වසීම් තාජුඩීන් ඝාතන විමර්ශන ඉදිරියට යන බවත්, එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල මහාධිකරණයේ නඩු පවරා ඇති බවත් එහිදී සඳහන් කළා.

එමෙන්ම සැප්තැම්බර් 21 වැනිදායින් පසු, නීති විරෝධී ලෙස උපයා ගත් කෝටි 70කට වැඩි වත්කම් ප්‍රමාණයක් රාජ්‍ය සන්තක කර තිබෙන බවද මහින්ද ජයසිංහ මහතා පවසනවා.

මේ අතර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන වත්මන් පොලිස්පති, මහජන ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන්ට එරෙහිව විපක්ෂය චෝදනා එල්ල කිරීම සාධාරණ බව අමාත්‍යවරයා උපහාසාත්මකව සඳහන් කළා.

“නීතිය හරියට අකුරට ක්‍රියාත්මක කරන මේ මහත්වරුන්ට එරෙහිව චෝදනා කරන්නේ නැත්නම්, කාටද චෝදනා කරන්නේ? ඒගොල්ලන්ට ඕන විදියට නීතිය නංවපු දේශබන්දුලට එරෙහිවද?”

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, තමන් පසුපස නීතිය පැමිණෙන බව දන්නා නිසා විපක්ෂය කලබල වී සිටින බවයි.

ඒ අනුව මේ වන විට පොලිස් නිලධාරීන් 400කට වැඩි පිරිසකට විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් විමර්ශන කටයුතු පහසු කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දේශීය හා විදේශීය පුහුණුව ලබාදෙමින් සිටින බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *