එළැඹෙන වසරේ දී ගුරු සහ නිලධාරි පුරප්පාඩු සියල්ල පිරවීමට පියවර ගන්නා බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
2024 වසරේ අපොස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් කිළිනොච්චිය, ඉරණමඩු යුද හමුදා කඳවුරේ නෙළුම් පියස ශාලාවේ පෙරේදා (21) පැවති උතුරු පළාතේ දූදරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරිය මේ බව කියා සිටියාය. අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා 2025 වසරේ ප්‍රගති සමාලෝචනය සිදු කළ බවත් එහිදී උතුරු ප්‍රදේශයේ ප්‍රගතිය ගැන සතුටු විය නොහැකි බවත් අගමැතිවරිය කීවාය.
වෙන් කළ මුදල් නිසියාකාරව යොදවා නැති බව පැවසූ අගමැතිවරිය මීට වඩා ප්‍රගතියක් අප උතුරු පළාතෙන් බලාපොරොත්තු වන අතර ඉතා ඕනෑකමින් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු කටයුතු කළ යුතු බව සිහිපත් කරන බව කියා සිටියේය.
උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික් නියෝජනය කරමින් 2024 වසරේ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් දරුවන් 300 දෙනකු වෙත මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණි.
අගමැතිවරිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය,
“රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබාදීම නොවෙයි. ජනතාවට ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කිරීමට හැකි පරිදි රජය ආර්ථික කළමනාකරණය සිදු කරනවා. අපේ රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබාදීම නෙමෙයි. අපි ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජනතාවට ප්‍රයෝජනවත් වන විදිහට භාවිත කරන්නයි.
දිට්වා සුළි කුණාටුව නිසා රටේ සෑම දිස්ත්‍රික්කයකම හානි සිදු වුණා. අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, පාසල්, රෝහල්, මාර්ග රැසකට හානි සිදු වුණා. අදටත් පනස් දහසක් පමණ ජනතාවට තමන්ගේ නිවාසවලට යන්න බැහැ.
උතුරු ප්‍රදේශයේ වැඩිහිටි ජනතාවට කඳවුර ජීවිතේ ගැන අත්දැකීම් ඇති එහි දුෂ්කර බව අපි ඔබට කිවයුතු නැහැ. යුද්ධය නිසා වසර ගණනාවක් අවතැන් කඳවුරුවල හිටියා. නමුත් අපේ රජය මේ සුළි කුණාටුවෙන් පසු එහෙම කඳවුරුවල තියාගන්න අදහසක් නැහැ.
සුළි කුණාටුවෙන් හානියට, ආපදාවට පත් සියලු දේ යථා තත්ත්වයට පත්කරමින් යනවා. පසුගියදා රුපියල් බිලියන 500ක් අපි සම්මත කරගත්තා. ඒ සඳහා ණය ගන්නවත්, වෙනත් ප්රතිලාභ කපන්නවත් අවශ්‍ය වුණේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු රජයේ ආර්ථික කළමනාකරණය නිසා ඒ මුදල් වෙන්කරගැනීම පහසු වුණා. භාණ්ඩාගාරය ශක්තිමත් කරමින් මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් ජනතාවට ප්රතිලාභ ලබා දෙන්න රජය කටයුතු කරනවා.
නිවාස පිරිසුදු කරගැනීමේ සිට නිවාස ඉදිකරන්න, යටිතල පහසුකම් සංවර්ධනයට වගේම ජීවනෝපාය සංවර්ධනය කරන්නටත් රජය වැඩ කරමින් යනවා. අපි විශේෂයෙන් අවධානය යොමු කළා අධ්‍යාපන වෙනුවෙන්. දරුවන්ගේ දෛනික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වය ගේන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි පාසල් ආරම්භ කළා. පාසල ඉගෙන ගන්න ස්ථානයක් පමණක් නෙමෙයි. ආරක්ෂිත, සතුට පිරුණු තැනක් කළ යුතුයි.
උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අපි ආපදා තත්ත්වයට මුහුණ දුන්නේ. එහිදී දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත්, විභාග ප්‍රශ්න පත්‍ර, පිළිතුරු පත්‍ර ආරක්ෂා කරමින් ලබාදුන් සහයෝගයට සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.
අපි 2025 සිට අධ්‍යාපනයට වෙන්කරන මුදල වැඩි කරමින් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කරමින් සිටිනවා. වව්නියාව සහ කිළිනොච්චියේ විශ්වවිද්‍යාලවල පැවති නේවාසික ගැටලුව විසඳන්න 2026 අය-වැය තුළින් අපි මුදල් වෙන් කළා. උතුරු පළාතේ මෙන්ම සමස්ත රටේම පාසල් පද්ධතිය සංවර්ධනය කිරීමටත්, ඩිජිටල් තාක්ෂණය සංවර්ධනය කරන්නත් අපි මුදල් වෙන් කරමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා.
යාපනය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බව අපි පිළිගන්නවා. ඒවගේම උතුරු පළාතට අයත් වව්නියාව, මන්නාරම, කිළිනොච්චි දිස්ත්‍රික්ක තුළත් අධ්‍යාපනය සංවර්ධනය කළ යුතුයි. සෑම පාසලක්ම අපේ පාසල්, ඒ පාසල් තුළ සිටින්නේ අපේ දරුවන්, ඒ නිසා සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍යයි.
ගුරුවරු ස්ථාන මාරු කරද්දි සියලු දිස්ත්‍රික්වලට සමානව ලබා දීමට කටයුතු කරන ලෙසත්, පෞද්ගලික දියුණුව මෙන්ම සාමූහික දියුණුව ද අවශ්‍ය බව අවබෝධයෙන් කටයුතු කරනවා.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා,
ජනාධිපති අරමුදල ජනතාවගේ එදිනෙදා භාවිතයට ගැනෙන වචනයක් වුණේ මේ වසරේ සිටයි. වසර 44ක කාලයක් ලංකාවේ ක්‍රියාත්මක වුණත් එහි සැබෑ කාර්යය ඉටුවෙමින් තිබෙන්නේ 2025 ජනවාරි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමෙන් අනතුරුවයි. එහිදී තීරණය කළා ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කරන්න. එය අපි 2025 පෙබරවාරි වන විට ක්‍රියාත්මක කළා.
පසුගිය මාස 11 තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයදුම්පත් 4,200ක් ලැබුණා. උතුරු පළාතෙන් පමණක් අයදුම්පත් 200ක් ලැබුණා. ඉස්සර ජනාධිපති අරමුදලෙන් ප්රතිලාභ ඉල්ලුවේ ලංකාවෙන්ම පනහක් හෝ හැටක් පමණයි. මිලියන 4,899ක් මෙවර ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කර තිබෙනවා, බිලියන 6,112ක් රටේ ජනතාව වෙනුවෙන් මේ වසරේ වෙන් කළා.
උතුරු පළාත් ආණ්ඩුකාර රාමලිංගම් වේදනායගම්, ධීවර හා ජලජ සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකරන්, වෙළෙඳ නියෝජ්‍ය ඇමැති උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ශ්‍රී භවනේන්ද්ර රාජා, ඉලන් කුමාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්වරු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
නුවන් කොඩිකාර






Be First to Comment