ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී අවධානයට ලක් වූ පරිදි වෘත්තිකයන්ගේද මැදිහත් වීම සිදුවන යන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවට සඳහන් විය. ජාතික අධ්‍යාපන ආයතනය වැනි රාජ්‍ය ආයතන තම කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන බවට මතයක් සමාජගත වූ තත්ත්වයක මෙය වඩාත් හොඳ දෙයකි
අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ. ඒ රජය විසින් ඇති කිරීමට සැලසුම් කරනු ලැබූ සහ දැනට අරඹා තිබෙන ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳවය. විවිධ දේශපාලන පක්ෂ සහ සෙසු පාර්ශ්ව මේ ප්‍රතිසංස්කරණ පිළිබඳව විවිධ අදහස් ද පළ කරති. එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වසරකට කල් දමා තිබේ. මේ පිළිබඳව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකැසුණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පසුගිය කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව, රට තුළ විශාල කතාබහක් ඇති විය. අධ්‍යාපනය යනු රටේ සියලු පද්ධති සමඟ සබඳතා ඇති අංශයක් නිසා මේ ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජ කතාබහක් ඇති වීම සාමාන්‍ය දෙයකි. එසේ හෙයින් මෙවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් පිළිබඳව සිදුකරන අදහස් උදහස් විවේචන සැලකිල්ලට ගැනීම සුදුසුය. ඒ සමාජ කතා බහ සැලකිල්ලට ගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හයවන ශ්‍රේණිය සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම යම් කාලයක් සඳහා කල් දැමීම කාලෝචිත දෙයකි. එමඟින් නව ප්‍රතිසංස්කරණ යෝජනාවල තිබෙන අඩු ලුහුඬුකම් සහ දුබලතා ඇත්නම් ඒවා වඩාත් සුදුසු සහ යහපත් ලෙස සංශෝධනය කිරීමට අවස්ථාව ඇති කර ගැනීමට පුළුවන.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අප කළ සාකච්ඡාවකදී අප අවධානය කළ කරුණ වූයේද මෙම ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර එහි ඇති අඩුපාඩු දුර්වලතා නිවැරැදි කර ගත යුතු බවය. ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ලැබුණේ ධනාත්මක ප්රතිචාරයකි. එහිදී ජනාධිපතිවරයා වෙත අපගේ ඉල්ලීම් සහ යෝජනා ඉදිරිපත් කළෙමු. ඒ පිළිබඳව ඔහුගේ සාධනීය අවධානය යොමු විය.
එහිදී යෝජනා වූ කරුණු අතර ප්‍රධාන කරුණක් බවට පත්වූයේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහ වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ යන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ එකඟතාවයි. ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ දැනටමත් ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙන බවය.
ශාස්ත්‍රීය පළපුරුද්ද
අප සංගමය මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරු නියෝජනය කරනු ලබන එකම වෘත්තීය සමිතියයි. මෙහිදී අපගේ අදහස බවට පත්ව තිබෙන්නේද මෙරට තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවය. මෙහිදී නාගරික පාසල්වලට වඩා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැදගත්කම තිබෙන්නේ මෙරට ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ටය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගත් උත්සාහය වගේම ප්‍රතිසංස්කරණ කටයුතු ද නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුය. එම යෝජනා ක්‍රියාත්මක වීම වඩාත් සුදුසු තීරණයක් ලෙස සඳහන් කළ හැකිය. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ලෙස මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරනු ලබන සහයෝගය ලබා දීමට අපි සූදානම් වෙමු.
දැනට තිබෙන නීතිමය තත්ත්වය සහ ආයතන පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරු වැනි කණ්ඩායම්වලට සම්බන්ධ වීමට තිබෙන අවස්ථාව සීමා වී තිබුණ ද ජනපති යෝජනා කළ යන්ත්‍රණය මඟින් ආචාර්යවරු වැනි වෘත්තිකයන් වෙතද සම්බන්ධ විය හැකිය. පසුගිය කාලයේදී සිදු වූ බොහෝ ප්‍රතිසංස්කරණ යෝජනාවලට වෘත්තීය සහ ශාස්ත්‍රීය පළපුරුද්දක් ඇති පිරිස් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූයේ තිබූ නෛතික බාධා නිසාය. අනෙක් පසෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහභාගි වූ පිරිස් සහ මෙම ශාස්ත්‍රීය උගතුන් අතර සැලකිය යුතු පරතරයක් ද තිබුණි.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ ගුරුවරු පුහුණු කිරීම පිළිබඳව සැලකිය යුතු අවධානයක් යොමුව තිබේ. එය හොඳ දෙයකි. එහෙත්, එම පුහුණු වීම්වල අඩුපාඩු තිබුණි. එය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ක්‍රියාවලියක් තුළ ඇති විය හැකි ප්‍රබල අඩුපාඩුවකි. එබැවින් එවැනි අඩුපාඩු දුබලතා මඟහැර නිසි ක්‍රමවේදයක් තුළ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම සුදුසුය.
ඩිජිටල් තිරවලට වැඩි අවධානයක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ පාසල්වල පහසුකම් ඉහළ නැංවීම කළ යුතුය. යටිතල පහසුකම් වැඩි නොකර කටයුතු කිරීම තුළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵල රහිතය. එනිසා මූලික ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට සමගාමීව පාසල්වල යටිතල පහසුකම්ද ඉහළ නැංවීම අනිවාර්ය කරුණක් ලෙස සඳහන් කළ හැකිය. රජයේ අධ්‍යාපනය දියුණු කිරීමේ කුලුනු පහේ ප්‍රධාන කරුණක් ලෙසද මෙය ඇතුළත්ව තිබේ.
ඩිජිටල්කරණය පිළිබඳව නව ප්‍රතිසංස්කරණ තුළ දැඩි කතාබහක් තිබුණද ඒ සඳහා තිබෙන පහසුකම් ප්‍රමාණවත්ද යන්න සලකා බැලිය යුතුය. සමාන්‍ය ආකාරයට ගතහොත් සෑම සිසුවකුටම පරිගණකයක් තිබිය යුතුය. එහෙත්, අද ඇතැම් පාසල්වල එක් පරිගණකයක් හෝ නොමැති අවස්ථා තිබේ. මෙය එක් දිනයක හෝ සතියකදී විසඳිය හැකි අඩුපාඩුවක් නොවේය. එහෙත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙම අඩුපාඩු නිවැරැදි කර ගැනීම ඉක්මනින් කළ යුතුය. අනෙක් පසෙන් රජය ඩිජිටල් තිරවලින් කුඩා දරුවන් ඉවත් කිරීම පිළිබඳව නීතිමය තත්ත්වය සලකා බලන අවස්ථාවක ඩිජිටල් තිරවලට වැඩි අවධානයක් යොමු කරන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මකව තිබේ.
මෙහි යම් ප්‍රතිවිරුද්ධතාවක් තිබේ. දහය එකොළහ ශ්‍රේණිවල කලා විෂයන් තෝරා ගැනීමේදී දරුවාට එය අනිවාර්ය විෂයක් නොවන බවට සඳහනක් තිබේ. එය සුදුසු දෙයක් නොවේ. දරුවකු පූර්ණ පුරවැසියකු ලෙස ගොඩනැඟීමට නම් කලාව සාහිත්‍ය සමඟ සිය දැනුම යාවත්කාලීන විය යුතුය.
ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී අවධානයට ලක් වූ පරිදි වෘත්තිකයන්ගේද මැදිහත් වීම සිදුවන යන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවට සඳහන් විය. ජාතික අධ්‍යාපන ආයතනය වැනි රාජ්‍ය ආයතන තම කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන බවට මතයක් සමාජගත වූ තත්ත්වයක මෙය වඩාත් හොඳ දෙයකි. සාමාන්‍යයෙන් වසර අටකට වරක් හෝ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු වුවද එම නියමිත කාලය තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමක් සිදුව නැත.
අධ්‍යාපනඥයින්ගේ අයිතිය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අතර ස්වයං අධ්‍යාපනය පිළිබඳව සඳහන්ව තිබේ. එහිදී විභාග බර ඉවත් කිරීම පිළිබඳව අලංකාර මාතෘකා යටතේ සංවාද නිර්මාණය වී තිබුණද මෙහි ප්රශ්නකාරී තත්ත්වයක් තිබේ. තනි ගුරුවරයකු මූලික කරගත් වැඩසටහනක් තුළ කටයුතු කිරීම තුළ දරුවන්ගේ අධ්‍යාපනයට යම් බලපෑමක් එල්ල වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස අදත් ඇතැම් ගුරුවරු තම ටියුෂන් පන්තියට පැමිණෙන සිසුවාට පාසල තුළ ප්‍රමුඛත්වය ලබා දේ. ඒවා සරල කරුණු ලෙස පෙනුණ ද එතුළ බරපතළ තත්ත්වයක් තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව විවිධ කතාබහ මතුව තිබුණද අද වඩාත් වැඩි කතාබහක් ඇතිව තිබෙන්නේ දේශපාලනය තුළය. එහෙත් දේශපාලනය සහ අධ්‍යාපනය යනු එකක් නොව දෙකකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව යෝජනා මෙන්ම අදහස් උදහස්ද දේශපාලනකිව පළවෙමින් තිබේ.
පසුගිය කාලයේදී විශාල ඝෝෂාවක් බවට පත් වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු, ඒවා නිවැරදි කළ යුතු ආකාරය පිළිබඳ යෝජනා නොව, දේශපාලනමය කරුණුය. අගමැතිනිය පිළිබඳ කරුණු ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කරුණු නොව, තර්කානුකූල නොවන හුදු දේශපාලන කරුණුය. එවැනි දේ නිසා සිදුවන හානිකර තත්ත්වය වන්නේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සහ ඒවායේ අඩුපාඩු පෙන්වාදීම් යටපත්ව හුදු පටු දේශපාලන කරුණු ඉදිරියට පැමිණීමය. එහෙත් සිදු විය යුත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඒවායේ අඩුපාඩු මතුකර ඒවා නිවැරැදි කිරීමය. ඒ පිළිබඳ අයිතිය ඇත්තේ දේශපාලනඥයන්ට නොවේ. අධ්යාපනඥයන්ටය.
ඒ තත්ත්වය තුළ මෙතැනට දේශපාලනඥයන් රිංගා කටයුතු කිරීම නුසුදුසු වගේම සිදු නොවිය යුත්තකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රය අයත් වන්නේ අධ්‍යාපනඥයන්ට මිස දේශපාලනඥයන්ට නොවේ. මෙම දේශපාලනඥයන්ගේ මැදිහත් වීම නිසා එක් මොඩියුලයක අඩුපාඩුවක් පෙන්වා දී ඒ පිළිබඳ දැඩි මාධ්‍ය ඝෝෂාවක් මතු කළ අතර එහි ප්‍රතිඵලය වූයේ අවධානය යොමු කළ යුතු තැන් අතැර වෙනත් කරුණු පිළිබඳව පමණක් කතා බහක් ඇති වීමය. එනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඒ ආශ්‍රිත දේශපාලන මතවාද ගොඩනඟා දේශපාලන ජයග්‍රහණ අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම නුසුදුසු කරුණක් ලෙස සඳහන් කළ හැකිය.
උදිත ගුණවර්ධන









Be First to Comment