Press "Enter" to skip to content

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම කාලෝචිතයි අඩුපාඩු දුබලතා සංශෝධනයට ඉඩ

ජනා­ධි­ප­ති­ව­රයා සමඟ පැවැති සාක­ච්ඡා­වේදී අව­ධා­න­යට ලක් වූ පරිදි වෘත්ති­ක­ය­න්ගේද මැදි­හත් වීම සිදු­වන යන්ත්‍ර­ණ­යක් ක්‍රියා­ත්මක විය යුතු බවට සඳ­හන් විය. ජාතික අධ්‍යා­පන ආය­ත­නය වැනි රාජ්‍ය ආය­තන තම කාර්ය­භා­රය නිසි ලෙස ඉටු නොක­රන බවට මත­යක් සමා­ජ­ගත වූ තත්ත්ව­යක මෙය වඩාත් හොඳ දෙයකි

අධ්‍යා­පන ක්ෂේත්‍රය පිළි­බ­ඳව මේ දින­වල දැඩි කතා­බ­හක් ඇතිව තිබේ. ඒ රජය විසින් ඇති කිරී­මට සැල­සුම් කරනු ලැබූ සහ දැනට අරඹා තිබෙන ප්‍රති­සං­ස්ක­රණ යෝජනා පිළි­බ­ඳ­වය. විවිධ දේශ­පා­ලන පක්ෂ සහ සෙසු පාර්ශ්ව මේ ප්‍රති­සං­ස්ක­රණ පිළි­බ­ඳව විවිධ අද­හස් ද පළ කරති. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යෝජනා වස­ර­කට කල් දමා තිබේ. මේ පිළි­බ­ඳව විශ්ව­වි­ද්‍යාලයීය ආචා­ර්ය­ සමිති සම්මේ­ල­නයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය චාරු­දත්ත ඉලං­ග­සිංහ මහතා සමඟ කළ සාක­ච්ඡා­වක් ඇසු­රෙන් මෙම ලිපිය සැකැ­සුණි.

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය පිළි­බ­ඳව පසු­ගිය කාලය තුළ අධ්‍යා­පන ක්ෂේත්‍රය පම­ණක් නොව, රට තුළ විශාල කතා­බ­හක් ඇති විය. අධ්‍යා­ප­නය යනු රටේ සියලු පද්ධති සමඟ සබ­ඳතා ඇති අංශ­යක් නිසා මේ ප්‍රති­සං­ස්ක­රණ පිළි­බ­ඳව සමාජ කතා­බ­හක් ඇති වීම සාමාන්‍ය දෙයකි. එසේ හෙයින් මෙවැනි ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලි­යක් පිළි­බ­ඳව සිදු­ක­රන අද­හස් උද­හස් විවේ­චන සැල­කි­ල්ලට ගැනීම සුදු­සුය. ඒ සමාජ කතා බහ සැල­කි­ල්ලට ගෙන ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා හය­වන ශ්‍රේණිය සඳහා වූ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කිරීම යම් කාල­යක් සඳහා කල් දැමීම කාලෝ­චිත දෙයකි. එම­ඟින් නව ප්‍රති­සං­ස්ක­රණ යෝජ­නා­වල තිබෙන අඩු ලුහු­ඬු­කම් සහ දුබ­ලතා ඇත්නම් ඒවා වඩාත් සුදුසු සහ යහ­පත් ලෙස සංශෝ­ධ­නය කිරී­මට අව­ස්ථාව ඇති කර ගැනී­මට පුළු­වන.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සමඟ අප කළ සාක­ච්ඡා­ව­කදී අප අව­ධා­නය කළ කරුණ වූයේද මෙම ප්‍රති­සං­ස්ක­රණ යෝජනා ක්‍රියා­ත්මක කිරී­මට පෙර එහි ඇති අඩු­පාඩු දුර්ව­ලතා නිවැ­රැදි කර ගත යුතු බවය. ඒ පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණේ ධනා­ත්මක ප්‍රති­චා­ර­යකි. එහිදී ජනා­ධි­ප­ති­ව­රයා වෙත අපගේ ඉල්ලීම් සහ යෝජනා ඉදි­රි­පත් කළෙමු. ඒ පිළි­බ­ඳව ඔහුගේ සාධ­නීය අව­ධා­නය යොමු විය.

එහිදී යෝජනා වූ කරුණු අතර ප්‍රධාන කරු­ණක් බවට පත්වූයේ, නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කිරී­මට යෝජනා ඉදි­රි­පත් කිරී­මේදී විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රු­න්ගෙන් සහ වග­කිව යුතු පාර්ශ්ව­ය­න්ගෙන් සැදුම් ලත් ඒකා­බද්ධ යන්ත්‍ර­ණ­යක් ක්‍රියා­ත්මක කිරීමේ එක­ඟ­තා­වයි. ජනා­ධි­ප­ති­ව­රයා එහිදී ප්‍රකාශ කළේ දැන­ට­මත් ඒ පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර තිබෙන බවය.

ශාස්ත්‍රීය පළ­පු­රුද්ද

අප සංග­මය මෙරට විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­වරු නියෝ­ජ­නය කරනු ලබන එකම වෘත්තීය සමි­ති­යයි. මෙහිදී අපගේ අද­හස බවට පත්ව තිබෙ­න්නේද මෙරට තුළ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කළ යුතු බවය. මෙහිදී නාග­රික පාස­ල්ව­ලට වඩා අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­වල වැද­ග­ත්කම තිබෙන්නේ මෙරට ග්‍රාමීය ප්‍රදේ­ශ­වල දරු­ව­න්ටය.

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ නිසි ලෙස ක්‍රියා­ත්මක කිරීම සඳහා රජය ගත් උත්සා­හය වගේම ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ද නිසි ලෙස ක්‍රියා­ත්මක කළ යුතුය. එම යෝජනා ක්‍රියා­ත්මක වීම වඩාත් සුදුසු තීර­ණ­යක් ලෙස සඳ­හන් කළ හැකිය. මෙහිදී විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රුන්ගේ සමිති සම්මේ­ල­නය ලෙස මෙම යෝජනා ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය කරනු ලබන සහ­යෝ­ගය ලබා දීමට අපි සූදා­නම් වෙමු.

දැනට තිබෙන නීති­මය තත්ත්වය සහ ආය­තන පද්ධ­තිය තුළ විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­වරු වැනි කණ්ඩා­ය­ම්ව­ලට සම්බන්ධ වීමට තිබෙන අව­ස්ථාව සීමා වී තිබුණ ද ජන­පති යෝජනා කළ යන්ත්‍ර­ණය මඟින් ආචා­ර්ය­වරු වැනි වෘත්ති­ක­යන් වෙතද සම්බන්ධ විය හැකිය. පසු­ගිය කාල­යේදී සිදු වූ බොහෝ ප්‍රති­සං­ස්ක­රණ යෝජ­නා­ව­ලට වෘත්තීය සහ ශාස්ත්‍රීය පළ­පු­රු­ද්දක් ඇති පිරිස් සම්බන්ධ කර ගැනී­මට නොහැකි වූයේ තිබූ නෛතික බාධා නිසාය. අනෙක් පසෙන් මෙම ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සඳහා සහ­භාගි වූ පිරිස් සහ මෙම ශාස්ත්‍රීය උග­තුන් අතර සැල­කිය යුතු පර­ත­ර­යක් ද තිබුණි.

මෙම අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය තුළ ගුරු­වරු පුහුණු කිරීම පිළි­බ­ඳව සැල­කිය යුතු අව­ධා­න­යක් යොමුව තිබේ. එය හොඳ දෙයකි. එහෙත්, එම පුහුණු වීම්වල අඩු­පාඩු තිබුණි. එය නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ වැනි ක්‍රියා­ව­ලි­යක් තුළ ඇති විය හැකි ප්‍රබල අඩු­පා­ඩු­වකි. එබැ­වින් එවැනි අඩු­පාඩු දුබ­ලතා මඟ­හැර නිසි ක්‍රම­වේ­ද­යක් තුළ මෙම ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක වීම සුදු­සුය.

ඩිජි­ටල් තිර­ව­ලට වැඩි අව­ධා­න­යක්

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ තුළ පාස­ල්වල පහ­සු­කම් ඉහළ නැංවීම කළ යුතුය. යටි­තල පහ­සු­කම් වැඩි නොකර කට­යුතු කිරීම තුළ යෝජිත අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කිරීම ප්‍රති­ඵල රහි­තය. එනිසා මූලික ලෙස අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­වට නැංවී­මට සම­ගා­මීව පාස­ල්වල යටි­තල පහ­සු­කම්ද ඉහළ නැංවීම අනි­වාර්ය කරු­ණක් ලෙස සඳ­හන් කළ හැකිය. රජයේ අධ්‍යා­ප­නය දියුණු කිරීමේ කුලුනු පහේ ප්‍රධාන කරු­ණක් ලෙසද මෙය ඇතු­ළත්ව තිබේ.

ඩිජි­ට­ල්ක­ර­ණය පිළි­බ­ඳව නව ප්‍රති­සං­ස්ක­රණ තුළ දැඩි කතා­බ­හක් තිබු­ණද ඒ සඳහා තිබෙන පහ­සු­කම් ප්‍රමා­ණ­වත්ද යන්න සලකා බැලිය යුතුය. සමාන්‍ය ආකා­ර­යට ගත­හොත් සෑම සිසු­ව­කු­ටම පරි­ග­ණ­ක­යක් තිබිය යුතුය. එහෙත්, අද ඇතැම් පාස­ල්වල එක් පරි­ග­ණ­ක­යක් හෝ නොමැති අවස්ථා තිබේ. මෙය එක් දින­යක හෝ සති­ය­කදී විස­ඳිය හැකි අඩු­පා­ඩු­වක් නොවේය. එහෙත්, නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ තුළ මෙම අඩු­පාඩු නිවැ­රැදි කර ගැනීම ඉක්ම­නින් කළ යුතුය. අනෙක් පසෙන් රජය ඩිජි­ටල් තිර­ව­ලින් කුඩා දරු­වන් ඉවත් කිරීම පිළි­බ­ඳව නීති­මය තත්ත්වය සලකා බලන අව­ස්ථා­වක ඩිජි­ටල් තිර­ව­ලට වැඩි අව­ධා­න­යක් යොමු කරන ප්‍රති­සං­ස්ක­රණ යෝජනා ක්‍රියා­ත්ම­කව තිබේ.

මෙහි යම් ප්‍රති­වි­රු­ද්ධ­තා­වක් තිබේ. දහය එකො­ළහ ශ්‍රේණි­වල කලා විෂ­යන් තෝරා ගැනී­මේදී දරු­වාට එය අනි­වාර්ය විෂ­යක් නොවන බවට සඳ­හ­නක් තිබේ. එය සුදුසු දෙයක් නොවේ. දරු­වකු පූර්ණ පුර­වැ­සි­යකු ලෙස ගොඩ­නැ­ඟී­මට නම් කලාව සාහිත්‍ය සමඟ සිය දැනුම යාව­ත්කා­ලීන විය යුතුය.

ජනා­ධි­ප­ති­ව­රයා සමඟ පැවැති සාක­ච්ඡා­වේදී අව­ධා­න­යට ලක් වූ පරිදි වෘත්ති­ක­ය­න්ගේද මැදි­හත් වීම සිදු­වන යන්ත්‍ර­ණ­යක් ක්‍රියා­ත්මක විය යුතු බවට සඳ­හන් විය. ජාතික අධ්‍යා­පන ආය­ත­නය වැනි රාජ්‍ය ආය­තන තම කාර්ය­භා­රය නිසි ලෙස ඉටු නොක­රන බවට මත­යක් සමා­ජ­ගත වූ තත්ත්ව­යක මෙය වඩාත් හොඳ දෙයකි. සාමා­න්‍ය­යෙන් වසර අට­කට වරක් හෝ අධ්‍යා­ප­නයේ ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක විය යුතු වුවද එම නිය­මිත කාලය තුළ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කිරී­මක් සිදුව නැත.

අධ්‍යා­ප­න­ඥ­යින්ගේ අයි­තිය

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යෝජනා අතර ස්වයං අධ්‍යා­ප­නය පිළි­බ­ඳව සඳ­හන්ව තිබේ. එහිදී විභාග බර ඉවත් කිරීම පිළි­බ­ඳව අලං­කාර මාතෘකා යටතේ සංවාද නිර්මා­ණය වී තිබු­ණද මෙහි ප්‍රශ්න­කාරී තත්ත්ව­යක් තිබේ. තනි ගුරු­ව­ර­යකු මූලික කර­ගත් වැඩ­ස­ට­හ­නක් තුළ කට­යුතු කිරීම තුළ දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට යම් බල­පෑ­මක් එල්ල වීමට ඉඩ තිබේ. උදා­හ­ර­ණ­යක් ලෙස අදත් ඇතැම් ගුරු­වරු තම ටියු­ෂන් පන්ති­යට පැමි­ණෙන සිසු­වාට පාසල තුළ ප්‍රමු­ඛ­ත්වය ලබා දේ. ඒවා සරල කරුණු ලෙස පෙනුණ ද එතුළ බර­ප­තළ තත්ත්ව­යක් තිබේ.

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සහ අධ්‍යා­පන ක්ෂේත්‍රය පිළි­බ­ඳව විවිධ කතා­බහ මතුව තිබු­ණද අද වඩාත් වැඩි කතා­බ­හක් ඇතිව තිබෙන්නේ දේශ­පා­ල­නය තුළය. එහෙත් දේශ­පා­ල­නය සහ අධ්‍යා­ප­නය යනු එකක් නොව දෙකකි. අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ පිළි­බ­ඳව යෝජනා මෙන්ම අද­හස් උද­හස්ද දේශ­පා­ල­න­කිව පළ­වෙ­මින් තිබේ.

පසු­ගිය කාල­යේදී විශාල ඝෝෂා­වක් බවට පත් වූයේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­වල අඩු­පාඩු, ඒවා නිවැ­රදි කළ යුතු ආකා­රය පිළි­බඳ යෝජනා නොව, දේශ­පා­ල­න­මය කරු­ණුය. අග­මැ­ති­නිය පිළි­බඳ කරුණු ඇතුළු අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට අදාළ කරුණු නොව, තර්කා­නු­කූල නොවන හුදු දේශ­පා­ලන කරු­ණුය. එවැනි දේ නිසා සිදු­වන හානි­කර තත්ත්වය වන්නේ සිදු­විය යුතු ප්‍රති­සං­ස්ක­රණ සහ ඒවායේ අඩු­පාඩු පෙන්වා­දීම් යට­පත්ව හුදු පටු දේශ­පා­ලන කරුණු ඉදි­රි­යට පැමි­ණී­මය. එහෙත් සිදු විය යුත්තේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සහ ඒවායේ අඩු­පාඩු මතු­කර ඒවා නිවැ­රැදි කිරී­මය. ඒ පිළි­බඳ අයි­තිය ඇත්තේ දේශ­පා­ල­න­ඥ­යන්ට නොවේ. අධ්‍යා­ප­න­ඥ­ය­න්ටය.

ඒ තත්ත්වය තුළ මෙතැ­නට දේශ­පා­ල­න­ඥ­යන් රිංගා කට­යුතු කිරීම නුසු­දුසු වගේම සිදු නොවිය යුත්තකි. අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රය අයත් වන්නේ අධ්‍යා­ප­න­ඥ­යන්ට මිස දේශ­පා­ල­න­ඥ­යන්ට නොවේ. මෙම දේශ­පා­ල­න­ඥ­යන්ගේ මැදි­හත් වීම නිසා එක් මොඩි­යු­ල­යක අඩු­පා­ඩු­වක් පෙන්වා දී ඒ පිළි­බඳ දැඩි මාධ්‍ය ඝෝෂා­වක් මතු කළ අතර එහි ප්‍රති­ඵ­ලය වූයේ අව­ධා­නය යොමු කළ යුතු තැන් අතැර වෙනත් කරුණු පිළි­බ­ඳව පම­ණක් කතා බහක් ඇති වීමය. එනිසා අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සහ ඒ ආශ්‍රිත දේශ­පා­ලන මත­වාද ගොඩ­නඟා දේශ­පා­ලන ජය­ග්‍ර­හණ අත්පත් කර ගැනී­මට උත්සාහ කිරීම නුසු­දුසු කරු­ණක් ලෙස සඳ­හන් කළ හැකිය.

උදිත ගුණ­ව­ර්ධන

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *