ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ මස 01 වැනිදා දක්වා කොළඹදී පැවැත්විණි.
මෙරට පවතින ප්‍රධාන අපනයන වෙළෙඳපොළ ආරක්ෂා කර ප්‍රවර්ධනය කරමින් අපනයන විවිධාංගීකරණය සඳහා ආසියාවේ සහ නැඟෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ඒකාබද්ධ වීම ශ්‍රී ලංකා රජයේ දැක්මයි. මෙරට ආර්ථිකය නඟාසිටුවමින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ගෝලීය වටිනාකම් දාමය හරහා ප්‍රධාන පාර්ශ්ව සමඟ සම්බන්ධවීම වත්මන් රජයේ අපේක්ෂාවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හවුල්කාරීත්වය වෙළෙඳාම සහ ආයෝජන දෙඅංශයෙන්ම දෙරටේ ආර්ථික වර්ධනයට ඉවහල් වේ. ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්වි-පාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩි දියුණු කිරීමේ අරමුණින් මේ වසරේ ජූලි 29 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ETCA පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙරටේම රාජ්‍ය නායකයෝ එකඟ වූහ.
ඒ අනුව ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන සාකච්ඡාකරු සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම ලේකම් ශ්‍රී අනන්ත් ස්වරූප් මහතා ප්‍රමුඛ ඉන්දීය නිලධාරීන් 19 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ මේ විස්තීර්ණ ගිවිසුම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළහ.
විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආයෝජන මණ්ඩලය නියෝජනය කරන ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු කේ. ජේ. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව (NTNC) විසින් මේ සාකච්ඡා මෙහෙයවනු ලැබීය.
භාණ්ඩ, සේවා, මූලාරම්භයේ රීති, වෙළෙඳ ප්‍රතිකර්ම, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළෙඳ පහසුකම් සැපයීම, වෙළෙඳාමට ඇති තාක්ෂණික බාධා, සනීපාරක්ෂක හා ශාක සනීපාරක්‍ෂක පියවර, නීතිමය සහ ආයතනික කටයුතු යන අංශ සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි. එසේම ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA) ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට විශේෂ සැසියක් ද පැවැත්විණි.
Be First to Comment