Press "Enter" to skip to content

එලිසබෙත් රැජනගේ විවාහ කේක් කැබැල්ලක් වසර 77කට පසු වෙන්දේසියේ

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජනගේ සහ පිලිප් කුමරුගේ විවාහ උත්සවයේදී අමුත්තන්ට පිළිගැන්වූ කේක් කැබැල්ලක් අඩංගු මංජුසාවක් පවුම් 2,200කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් අටලක්ෂ තිස්දහසකට) වෙන්දේසි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 77ක් පැරැණි එම කේක් කැබල්ල ආහාරයට ගත නොහැකි වුවද, සිහිවටනයක් ලෙස තබා ගැනීමට හැකියාව ඇතැයි එම වෙන්දේසිය සිදු කළ එංගලන්තයේ රීමන් ඩැන්සි වෙන්දේසි සමාගම ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එසේ වෙන්දේසි වී ඇත්තේ 1947 නොවැම්බර් මස 20 වැනිදා පැවැති එලිසබෙත් රැජනගේ විවාහ උත්සවයෙන් පසු රැජන විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පිහිටි රාජකීය මන්දිරයේ සේවිකාවක වන මැරියන් පොල්සන්ට රාජකීය යුවල විසින් තෑගි කරනු ලැබූ කේක් කැබැල්ල බහාලූ රිදී මංජුසාවක් බවත්, සේවිකාව එය දශක ගණනාවක් පුරා සුරක්ෂිතාව තබාගෙන සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එලිසබෙත් රැජනගේ විවාහ කේක් ගෙඩිය බරින් කිලෝග්‍රෑම් 226ක් ද, උසින් අඩි 9ක් ද වූ අතර, විවාහ උත්සවයට පැමිණ සිටි අමුත්තන් අතර කැබැලි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බෙදා දී ඇතැයි වාර්තා වේ. ඉතිරි කොටස බ්‍රිතාන්‍යයේ විවිධ සුබසාධන ආයතන හා සංවිධාන වෙත යවා ඇති අතර, ඉන් ඉතිරි වූ කැබැලි කිහිපයක් 2013 වසරේදී ද පවුම් 1,750 බැගින් වෙන්දේසි කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *