මගීන් 227 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු සමඟ මීට දශකයකට පෙර අතුරුදන්වූ MH370 මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට මැලේසියානු රජය සහ අමෙරිකානු සමාගමක් අතර ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝක ගුවන්යානා අනතුරු ඉතිහාසයේ වඩාත්ම අබිරහස් අනතුර ලෙස සැලකෙන එම ගුවන් යානයේ අතුරුදන්වීම පිළිබඳ දශකයකට ආසන්න කාලයක් පුරා ලොව විවිධ රටවල ගුවන් යානා අනතුරු පිළිබඳ විශේෂඥවරුන් පරීක්ෂණ ගණනාවක් සිදු කර තිබූ අතර, මේ දක්වා එම අබිරහස විසඳීමට සමත්වී නැතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
කිසිදු සොයාගැනීමක් නොලැබුණහොත් මුදල් නොගෙවීමේ පදනම මත අත්සන් කිරීමට නියමිතව ඇති එම ගිවිසුම අනුව අතුරුදන්වූ ගුවන් යානයේ යම් සොයා ගැනීමක් සිදු කළේ නම් ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 70ක් අදාළ සමාගමට ගෙවීමට මැලේසියානු රජය එකඟවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. නව ගිවිසුමට අනුව එම සමාගම දකුණු ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් 15,000ක් වටා සෝදිසි මෙහෙයුම් සිදු කිරිමට නියමිත බව ද වාර්තා වේ. එම ගිවිසුම ලබන වසරේ මුල් භාගයේදී අත්සන් තබන බව මැලේසියානු ප්‍රවාහන ඇමැති ඇන්තනි ලෝකේ ප්‍රකාශ කළ බවද වාර්තා වේ.
මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන්තොටුපොළේ සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කළ MH370 ගුවන් යානය වසර 2014 මාර්තු මස 8 වැනිදා රේඩාර් තීරයෙන් අතුරුදන්වූ අතර, චීනය, ඔස්ට්‍රේලියාව, මැලේසියාව ඇතුළු රටවල් රැසක් ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් එක්ලක්ෂ විසිදහසක ප්‍රදේශයක් ආවරණය කරමින් සෝදිසි මෙහෙයුම් රැසක් සිදු කර තිබිණි. අමෙරිකානු ඩොලර් 150ක් වැය කරමින් සිදු කළ එම මෙහෙයුම් වසර 2017 දී නිමාවට පත්වූයේ MH370 ගුවන් යානයේ අතුරුදන්වීම තවදුරටත් අබිරහසක් ලෙස ඉතිරි කරමිනි.
Be First to Comment