Press "Enter" to skip to content

ධාවන පථයේ කොන්ක්‍රීට් බැම්ම විශේෂඥවරුන්ගේ විමතියට

ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ ජාත්‍යන්තර ගුවන් ගමන් විශේෂඥවරු රැසක් විවිධ අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ ධාවන පථයේ අවසානයේ ඉදි කර තිබූ විශාල කොන්ක්‍රීට් බැම්මක ගැටී පිපිරී ගිනිගෙන විනාශ වූ අතර, ධාවන පථයේ අවසන් භාගයේ මීටර් 4ක් උසැති කොන්ක්‍රීට් බැම්මක් ඉදි කර තිබීම ගුවන් ගමන් විශේෂඥවරුන්ගේ විමතියට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ගොඩබැස්වීමේ ගියරය අක්‍රීය වීම සහ කුරුලු රංචුවක් යානයේ තටු අතර ගැටීම වැනි කරුණු රැසක් අනතුරට හේතු වශයෙන් සඳහන් වූවද, ධාවන පථය අවසානයේ කොන්ක්‍රීට් බැම්මක් වැනි බාධකයක් ඉදි කර නොතිබුණේ නම් එම අනතුර වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ගුවන් ගමන් විශේෂඥයකු වන බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලියර්මෝන්ට් සඳහන් කර තිබේ.

ගුවන් මගීන්ට ජීවිත අහිමිවූයේ යානයේ ගොඩබැස්වීමේ ගියරය ක්‍රියාත්මක නොවීම හෝ කුරුලු රංචුවක් එහි තටු අතර ගැටීම හෝ නොවන බවත්, ගුවන් යානය ශක්තිමත් කොන්ක්‍රීට් බැම්මේ ගැටී ගිනිගැනීම හේතුවෙන් බව ඩේවිඩ් ලියර්මෝන්ට් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ අතර ලෝක ප්‍රකට ලුෆ්තන්සා ගුවන් සමාගමේ ප්‍රවීණ ගුවන් නියමුවකු වන ක්‍රිස්ටියන් බෙකර්ට් සඳහන් කර ඇත්තේ ධාවන පථය අවසානයේ කොන්ක්‍රීට් බැම්මක් ඉදි කිරීම අසාමාන්‍ය බවය. ඕනෑම ගුවන්තොටුපොළක ධාවන පථයක අග කෙළවර එවැනි කොන්ක්‍රීට් බැම්මක් ඉදි කර නැති බව ද ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. දකුණු කොරියාවේ සෑම ගුවන්තොටුපොළකම ධාවන පථ කෙළවර එවැනි බැම්මක් ඉදිකර ඇතැයි මේ පිළිබඳ ප්‍රකාශයක් සිදු කරමින් එරට ප්‍රවාහන ඇමැතිවරයා සඳහන් කර ඇති අතර, එය ඉතා පහසුවෙන් බිඳ දැමිය හැකි ආකාරයෙන් ඉදි කළ යුතුව තිබූ බව පිළිගෙන තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *