Press "Enter" to skip to content

කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් අක්කර දසදහසක් විනාශයි

අමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවරට බලපා ඇති ළැව් ගිනි තත්ත්වය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අධික සුළං සමඟ වේගයෙන් පැතිරී යන ළැව් ගින්න හොලිවුඩ් පුරවරයටත් පැතිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ළැව් ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, නිවාස හා රථ වාහන සිය ගණනක් විනාශ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වියළි සුළං සහිත කාලගුණය තත්ත්වය තවත් බරපතළ කර ඇති අතර, ගිනි නිවිමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පෙරේදා වන විට ලක්ෂයකට අධික පිරිසකට ලොස් ඇන්ජලීන් නුවර හා තදාසන්න ප්‍රදේශවලින් ඉවත්වන ලෙසට නගර බලධාරීන් නියෝග කර ඇති බවත් වාර්තා වේ. ළැව් ගිනි හේතුවෙන් මේ වනවිටත් අමෙරිකානු ඩොලර් බිලියන 50කට වැඩි අලාභයක් සිදුවී ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි වාර්තා වේ.

මීට දින දෙකකට පෙර අක්කර 10කින් ආරම්භ වූ ළැව් ගින්න අක්කර 10,400ක් පුළුස්සා දමා ඇති අතර, එම ගිනි කුණාටුව අමෙරිකානු ඉතිහාසයේ විශාලතම ළැව් ගිනි තත්ත්වයක් බව නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

බදාදා වන විට හොලිවුඩ් කඳුකර ප්‍රදේශයට ද ළැව් ගිනි පැතිරී ගොස් ඇති අතර, පෙරේදා වන විට ළැව් ගිනි 5ක් පැතිරී යන බවට වාර්තා වී ඇති අතර, ඊයේ 6 වැනි ළැව් ගින්නත් ආරම්භ වූ බව ලොස් ඇන්ජලීස් නුවර ගිනි නිවන හමුදාව තහවුරු කර තිබේ.

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ළැව් ගිනි පාලනය කිරීම සඳහා සහාය වන බවත්, මීට අමතරව ඒ සඳහා කැනඩාවෙන් ද හෙලිකොප්ටර යානා කිහිපයක් සහායට පැමිණ ඇති බවත් වාර්තා වේ.

සුප්‍රකට හොලිවුඩ් නිළියක හා ගායිකාවක වන පැරිස් හිල්ටන්, රූපවාහිනී නිවේදිකාවක සහ නිලියක වන රිකී පැමේලා ඇතුළු නළු නිළියන් රැසකගේ සුපිරි මන්දිර රැසක් ද ගින්නට හසුවී ඇතැයි ද වාර්තා වේ. ජනතාව නිවාස හැරයෑමෙන් පසු කොල්ලකෑම් ඉහළ ගොස් ඇති අතර, නිවාස කොල්ලකෑ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *