Press "Enter" to skip to content

සේවයෙන් ඉවත් වන රජයේ සේවකයන්ට ට්‍රම්ප්ගෙන් මාස අටක වැටුප් පැකේජයක්

ඇමෙරිකානු රජයේ කාර්යාලවල සේවය කරන සේවකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින් ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමැති රජයේ සේවකයන්ට මාස අටක වැටුප සහිත විශේෂ වැටුප් හා දීමනා පැකේජයක් හඳුන්වාදීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පියවර ගෙන තිබේ. මේ යටතේ අදාළ පැකේජය ලබාගෙන සේවයෙන් ඉවත්ව යෑමට කැමැති රජයේ සේවකයන් ඒ බව ලබන පෙබරවාරි 06 වැනිදා වනවිට දැනුම් දියයුතු බව දන්වමින් එරට මිලියන ගණනක් වූ රජයේ සේවකයන් වෙත ඇමෙරිකානු රජය විසින් පෙරේදා (28දා) විද්‍යුත් තැපෑල (ඊ මේල් ) හරහා පණිවිඩයක් යවා තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ අදහසකට අනුව මෙම දැවැන්ත ස්වෙච්ඡාවෙන් රජයේ සේවකයන් ඉවත් කිරීමේ වැඩසටහන සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පරිපාලනය ලබන පෙබරවාරි මස 6 වැනිදා වනවිට රජයේ සේවකයන්ගෙන් සියයට 10ක් දක්වා වූ පිරිසක් සිදු කර ඇති දැනුම් දීමට අනුව ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. මේ වනවිට ඇමෙරිකානු රජයේ සේවකයන් මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් සේවයේ යෙදී සිටින අතර ඔවුන්ගෙන් ලක්ෂ දෙකක පමණ සේවකයන් පිරිසක් අදාළ වැටුප් පැකේජය ලබාගෙන සේවයෙන් ඉවත්ව යනු ඇතැයි අපේක්ෂා කරන බව ධවල මන්දිර ආරංචි මාර්ග දක්වමින් බටහිර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රජය මගින් හඳුන්වාදී ඇති මෙම ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමේ පැකේජය හරහා රජයට ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක පමණ ඉතිරියක් සිදු කළ හැකි බව එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *