Press "Enter" to skip to content

කොළඹ කෘෂි ව්‍යවසායකයින්ට, රතු කුරුසයෙන් මිලියන 45ක ආධාර

ආර්ථික වශයෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සුළු පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය කටයුතු යොදා තිබේ.

ඒ අනුව මෙම ක්ෂේත්‍රයෙහි ජීවනෝපායන්හි නිරත පවුල් පන්සියකට (500) රුපියල් 75,000 බැගින් මූල්‍ය ආධාර ලබාදීමේ වැඩසටහනක් පසුගිය 21 වැනිදා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

එහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කියා සිටියේ, රතු කුරුස සමාජය ලබා දෙන මෙම මුදල් ප්‍රදානය යොදා ගනිමින් තමන්ගේ ජීවනෝපායන් තවදුරටත් සංවර්ධනය කර ගනිමින්, රටේ ආර්ථික ද ශක්තිමත් කිරීමට දායක වන ලෙසයි.

ඒ තුළින් උද්ධමනය අඩු කර ගැනීමට හැකිවී 2024 වසර ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වසරක් කර ගැනීමට හැකි වන බවද ඔහු කියා සිටියේය.

අන්තර් ජාතික රතු කූරුස සමාජය සහ රතු අඩ සඳ සම්මේලනය මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත.

මෙම වැඩසටහන තුළින් හෝමාගම හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කෘෂිකාර්මික, සත්ව පාලන හා බිම් මල්, වගාව ඇතුළු කෘෂිකාර්මික ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසන්නීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා කියා සිටියේ, “මේ වන විටත් මෙවැනි කෘෂිකාර්මික පවුල් හයසියයක් (600)සඳහා මෙම ආධාර මුදල් දැනටමත් ලබා දී ඇති බවයි. මෙවුන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා මූල්‍ය පරිහරණය පිලිබදව දැනුමද ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් මේ වන විට නොමිලේ ලබා දී ඇතැයි අබේසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා, හෝමාගම හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරුන්, කොළඹ දිස්ත්‍රික් රතු කුරුස ශාඛා කමිටු සාමාජිකයන් ද රාජ්‍ය නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීහු ද සහභාගි වූහ.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *